ජනපති නිවසේ අලුත් අවුරුදු චාරිත්‍ර

 ඡායාරූපය:

ජනපති නිවසේ අලුත් අවුරුදු චාරිත්‍ර

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමඟ එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (14) කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට එක් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජයන්ති සිරිසේන මැතිනිය ඇතුළු පවුලේ සැම එක්ව සුබ නැකතට ළිප ගිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළ අතර වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටුකරමින් ජනාධිපතිවරයා පෙරේදා (15) පෙ.ව 11.17ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පලතුරු පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සඳහාද එක් වූයේය.

මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අන් කවරදාටත් වඩා තදින් දැනී ඇති අද දවසේ එම චාරිත්‍රය සමඟ එක්ව සිය පුරවැසි වගකීම ඉටුකරන ලෙස අලුත් අවුරුදු උදාව සමඟ ජනාධිපතිවරයා සමස්ත රටවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කිරීමට මැති ඇමතිවරු, කලාකරුවන්, හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර ඔවුන් සියලුදෙනා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ආහාර අනුභව කිරීමේ නැකැතට එම සියලුදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපානවලින් සංග්‍රහ කළේය.

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සිය සුභාශිංසන සහ ආශීර්වාද පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සියලු දෙනා එකට සිටිමින් මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට ලැබුවා වූ අලුත් අවුරුද්දේ අධිෂ්ඨානශීලී විය යුතු බවයි.