පැරීසියේ ඓතිහාසික නොට්‍රේඩම් දේවස්ථානයේ ගින්නක්

 ඡායාරූපය:

පැරීසියේ ඓතිහාසික නොට්‍රේඩම් දේවස්ථානයේ ගින්නක්

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන නොට්‍රේඩම් ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් නිසා පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ නොට්‍රේඩම්  ප්‍රධාන දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ගින්නෙන් මෙම ගොඩනැගිල්ලේ ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව ප්‍රංශ බලධාරීහු සඳහන් කරයි.

ගින්න නිවීමට යෙදවූ ගිනිනිවීමේ භටයන් 400න් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර දේවස්ථානයේ අභ්‍යන්තර ව්‍යුහයන් කඩාවැටීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි ප්‍රංශ ගිනි නිවීම් ඒකකය අවධාරණය කරයි. දේවස්ථානය යළි ගොඩනැගීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි.

නොට්‍රේඩම් දේවස්ථානය ප්‍රංශයේ සහ යුරෝපීය සංස්කෘතියේ සංකේතයක් වන අතර මෙම දේවස්ථානය ප්‍රංශයේ මෙන්ම සමස්ත ලෝකයේම ක්‍රිස්තියානි ආගමේ සංකේතයකි.

ලෝක උරුමයක් වන නොට්‍රේඩම් දේවස්ථානය 12 වැනි ශත වර්ෂයේදී ඉදිකර ඇති අතර ප්‍රංශ ගොතික් දේවස්ථාන ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන නිර්මාණයක් ලෙස සැලකෙන නොට්‍රේඩම් දේවස්ථානය වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් නැරඹීමට පැමිණෙන ස්ථානයකි. කෙසේවෙතත් නොට්‍රේඩම් දේවස්ථානයේ ගින්න හටගැනීමට හේතුව මෙතෙක් හෙළිව නැති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේවස්ථානයේ අලුත්වැඩියා කිරීම් කටයුතු මෙයට හේතුවන්නට ඇතැයි සැක පළ කරන බවයි.