වෙළෙඳපොළ යන්ත්‍රණයෙන් ඈත් වී අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි

 ඡායාරූපය:

වෙළෙඳපොළ යන්ත්‍රණයෙන් ඈත් වී අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන

වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ගැනීම වර්තමානය වනවිට වැදගත් කරුණක් වී ඇති බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“මිහිතලය මත ජීවයේ පැවැත්ම සඳහා හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිසුන් මේ ග්‍රහවස්තු යුගල බැතියෙන් වන්දනාමාන කළේය. සොබාදහම දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේද පිළිවෙත විය. මේ අනුව වාර්ෂිකව හිරු සඳු වන්දනා කිරීමට මෙරට ජනතාව අවුරුදු සමයෙහි පෙලඹී තිබේ. වාර්ෂිකව අප්‍රේල් මාසයේ හිරුගේ මුදුන් වීම උත්සවශ්‍රීයෙන් සමරන සිංහල හා දෙමළ ජනතාව නව වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයද සිදු කරති.

වාර්ෂිකව සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළැඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනා කිරීමේ උෙලළකි. අස්වනු නෙළා ගෙට ගැනීමෙන් අනතුරුව බුදුන්ට, දෙවියන්ට පූජාකොට ඉන්පසු පරිභෝජනයට ගන්නා මේ සංතුෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙසද ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙස අලුත් අවුරුද්ද හැඳින්විය හැකිය.

බක් මාසය යනුවෙන් හඳුන්වන්නේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවිනි. ගස්වල නව මල් ඵල හටගැනෙන සොබාදහමේ සියලු ප්‍රකාශයන්හී උද්දාම බවක් දක්නට ලැබෙන මේ කාලසීමාව සතුට උදාවන බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හඳුන්වමු. ස්වභාවධර්මයේම දරුවන් වන අප එය බැහැරින් ඇති යමක් ලෙස සලකා ඊට අවහිර කෙළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ එකාත්මික වීමේ අවශ්‍යතාව වඩවඩාත් දැනෙන මොහොතක් වෙතය.

මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙමු යැයි යෝජනා කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාව මෙන්ම එතෙර දිවි ගෙවන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරමි.

----------------

අලුත් අවුරුද්දේ ජාති භේදයකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබේවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් කියා සිටියේය.

අලුත් අවුරුද්ද කේන්ද්‍රකොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලුත් කරන බව කී අගමැතිවරයා, එබැවින් අලුත් අවුරුද්ද යනු මනුෂ්‍ය සමාජය තුළ ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කරගෙන නිර්මාණය වූවක් බවද පැවසීය.

උතුරු - දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලුත් අවුරුද්ද අපේ ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් බවත් අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් බවත් එහි සඳහන් වේ.

ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි අගමැතිවරයා හෘදයාංගමව සුභාශිංසන එක් කළේය.

-------------

ආකල්පමය වෙනසක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

නව අලුත් අවුරුද්ද සියලු දෙනාගේම ආකල්පවල පරිවර්තනයක් සිදුවන සියලු මනුෂ්‍යයන්ට ගරුත්වයක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා යනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණ්විඩය නිකුත් කරමින් කියා සිටී.

එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමඟ හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමටද අවශ්‍ය පරිසරය සකස් කර දෙනු ලබයි.

අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවනවා මෙන්ම සියලු අඩුපාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරනු ලබයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන්ද ප්‍රගතිශීලි විය යුතුය. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත්ව යන මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගීතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරනු ලබයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්‍රායන් ඇති කරයි. ඒ අභිප්‍රායන් මුසුවූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වේ.

මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමඟ මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟ වේ.

මේ නව අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි හදවතින් සුබ පතමි.”

--------------

අලුත් අවුරුද්ද යහපත් සුබවාදී අාරම්භයක්

කථානායක කරු ජයසූරිය

 

මිනිසා අනාදිමත් කාලයක් පුරා සොබාදහම සමඟ කරන ලද ගනුදෙනුව යම් ශිෂ්ටාචාරයක සංස්කෘතිය තුළින් විද්‍යමාන ‍වේ. කෘෂිකර්මය ජීවනෝපාය කරගනිමින් පරිසරය සමග සාධාරණ භක්තිමත් සබඳතාවක් පැවැත්වූ පෙරදිග ශිෂ්ටාචාරයේ මිනිසුන් තමන්ද සොබාදහමේ කොටසක්ය යන්න තේරුම් ගනිමින් පළකළ කෘතවේදී හැඟීම් සමුදාය සූර්ය වන්දනාව මඟින් නිරූපණය වෙයි.

පෘථිවි තලයේ සමස්ත ජීවයේ පැවැත්ම ‍සූර්යයා කෙන්ද්‍ර කරගෙන පවතින්නේය යන යථාර්ථය දුරාතීතයේ සිටම අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අපේ මුතුන්මිත්තෝ එම විශ්වාස පදනම් කරගත් වත්පිළිවෙත් ඉටුකළහ. අපට උරුම එම අනන්‍යතාවන් මූර්තිමත් කෙරෙන සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම සාමාජීය වශයෙන් වැදගත්කම් රාශියක් ජනිත කරයි.

පොදු අරමුණක් වෙනුවෙන් සමස්ත ප්‍රජාවම ඒකරාශී වෙමින් එකම මොහොතක වැඩ කටයුතු ආරම්භ කරමින් අන්‍යෝන්‍ය වශයෙන් සැපත සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම සමාජයේ සාමූහිකත්වයට අතිශයින් වැදගත් වෙයි. විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේණික ආගමික වත්පිළිවෙත් ඉටු කරමින් වැඩිහිටියන් නැමදීම, ගුරු දෙගුරුන් බැහැදැකීමට යෑම ආදිය සමාජ ධූරාවලිය නැවත පණ ගන්වමින් සමාජයේ සාමාජිකයකු ලෙස ඉටුකළ යුතු යුතුකම් සහ කාර්යභාරයන් පිළිබඳ නැවත සිහි කැඳවයි.

ගේ දොර පිරිසුදු කර පවුලේ සියලුදෙනා සමඟ සුබ මොහොතින් වැඩකටයුතු ආරම්භ කිරීම තුළ ජීවිතයට යහපත් සුබවාදී ආරම්භයක් ගෙන දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලු ජන කොටස් ජාති ආගම් භේදයෙන් තොරව පොදුවේ අවුරුදු සැමරුම සමඟ එක්වීම සංහිදියාව පිළිබඳ වැදගත් ආදර්ශයක් සපයයි. එම ආදර්ශය හෙට දවසේ සෞභාග්‍යයෙන් සපිරි ශක්තිමත් දේශයක පදනම බවට පත් වේවා යැයිද සකල ශ්‍රී ලංකාවාසී සහෘද ජනතාවට බත බුලතින් සපිරි වාසනාවන්ත සිංහල හින්දු අලුත් අවුරුද්දක් උදාවේවා යැයිද ආසිරි පතමි.

---------------

ජාතීන් අතර සංහිඳියාව ඇතිවන අලුත් අවුරුද්දක් වේවා

ඇමති සජිත් ප්‍රේමදාස

 

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස නිතැතින්ම උත්සාහ දරනුයේ ජාතීන් අතර සංහිඳියාවේ සංකේතය බදු මේ මහා සංස්කෘතික මංගල්‍යය, නිවසින් ආරම්භ කර එහි සුවඳ හා සිරිය මුළුමහත් දේශය පුරා පතුරුවාලීම බව සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

සුර්යය මංගල්‍යය යනු සොබා දහම ඇතුළු මානව සංහතිය නවමු ආකාරයට ජීවය ලබමින් පැරණි සිරිත් විරිත් හා හර පද්ධතීන් අනාගත පරපුර වෙත දායාද කරන සංස්කෘතික මංගල්‍යයක් බවත් එය ගහකොළ සතා සිව්පාවන් තුළ ප්‍රමෝදය ඇති කරවන වකවානුවක් බවත් එහි සඳහන් වේ.

විනෝදය, විවේකය, ප්‍රීති සුවය අර්ථාන්විතව ගත කිරීමට ලැබෙන මෙම මංගල සමයේ මානව බැදීම් මැනවින් තහවුරු කිරීමට ගැමි ජන විඥාණය හා ජන ක්‍රීඩා හේතුවන බවත් එහි සඳහන්ය. ඒ අනුව උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමට, සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ මංගල්‍යයක් මෙන්ම නිවුණු, හැදුණු වැඩුණු, පිරුණු මිනිස්සුන්ගෙන් සපිරි පින්බර දේශයක් ගොඩනැඟීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන බව එම පණිවිඩයේ සඳහන් වේ.