අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණයයි

 ඡායාරූපය:

අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණයයි

අපේ රටේ ජනමාධ්‍ය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණය බවත් යහපත් විවේචනය තුළ සාධාරණ සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක රටක් ඉදිරියට යන්න මාධ්‍යයේ නිදහස මෙන්ම මාධ්‍යයේ කැපවීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (10) රාත්‍රියේ පැවැති විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018’ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

 

“මම ඉතාමත් සතිටු වෙනවා ජනාධිපති සම්මාන ලබාදෙන පළමු උත්සව සභාවේදී ඇමතීමට ලැබීම පිළිබඳව. රාජ්‍ය නායක සම්මානයක් ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් බව වාර්තා වන්නේ නෑ. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා මා සාකච්ඡා කළ අවස්ථාවක තීරණය කළා මෙවැනි සම්මාන ලබාදීමක් සිදු කළ යුතු බව. මෙවැනි සම්මාන දීමකදී වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට සම්මාන දීම දුෂ්කර නෑ. කලාකරුවන්, ජනමධ්‍යවේදී ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ට සම්මාන දීම ලෙහෙසි කාර්යයක් නොවේ. මමත් වාර්තාකාරුවෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ නිදහස් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළා. පහළ සිටම අත්දැකීම් ලබා තිබෙනවා. අපේ රටේ ජනමාධ්‍ය වගේම අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණයයි. පුළුල් විශිෂ්ඨ හා උතුම් කාර්ය කරන්නේ ජනමාධ්‍යයයි. ලූෂන් බුලත්සිංහල මහතා කර්තෘ භාගය ගැන විමසීමක් කළා. කර්තෘ භාගය පිළිබඳ රැස්වීම් සාකච්ඡා කීයක් තිබ්බද කියලා එතුමා දන්නවා. අසමඟිය බරපතල ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්න රාශියක් තිබුණා. නැවත ඒ පිළිබඳව සොයා බලලා සාකච්ඡා ආරම්භ කරන්න තීරණය කළා.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පුරෝගාමී කටයුත්තක් ඉටු කළා. මෙතෙක් කටයුතු කළ ජනමාධ්‍ය ඇමැතිවරුන්ට හොඳක් අහන්න නොලැබුණත් වත්මන් ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට එවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.  ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පවුලකින් පැවත එන අයෙක් ලෙස රුවන් විජයවර්ධන මහතාට මේ විෂය හොඳින් කරගෙන යාමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.  අපේ රටේ ජනමාධ්‍ය හා දේශපාලනඥයා, ජනමාධ්‍ය හා පුරවැසියා, ජනමාධ්‍ය හා රාජ්‍ය සේවකයා, ජනමාධ්‍ය හා පාසල් සිසුවා මේ සියල්ල පිළිබඳ එකිනෙකට ගත්විට බොහෝ වෙනස්කම් දැක තිබෙනවා.  ජනමාධ්‍ය තුළින් යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේදී අද තිබෙන අභියෝග තේරුම්ගෙන අප සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළ යුතුයි.  මෑත කාලයේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම වෙබ් අඩවි හරහා විවිධ මඩ ප්‍රචාර එල්ල වෙනවා.