මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්

 ඡායාරූපය:

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ කැනේඩියන් කොමර්ෂල් කෝපරේෂන් ආයතනය අතර සහයෝගීතා ගිවිසුමකට ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ද, ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ඩේවිඩ් මැකින් මහතා සහ කැනේඩියන් කොමර්ෂල් කෝපරේෂන් ආයතනයේ නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සහ කැනේඩියන් කොමර්ෂල් කෝපරේෂන් ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ වයෝන් චින් මහත්මිය මෙම සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබූහ.

බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත් ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මඟින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 50‍ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතය. එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් සියයට 4‍‍ කටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර ප්‍රථම මෙගාවොට් දහය මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත් යෝජිතය. එසේම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ අද (10) සිට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03ක් යටතේ නිසි විසදුම් සැපයීමට විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය කියා සිටියේය. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. දිගුකාලීන වැඩසටහන තුළින් මෙගාවොට් 3, 000ක් - 3,500ක් අතර බලශක්තියක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින අතර මධ්‍ය කාලීනව දැනට අලුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරවීමටත්, ඒ මඟින් අදාළ බලාගාරයන්ගෙන් ජාතික පද්ධතියට ලැබිය යුතු දායකත්වය නිසි පරිදි අඛණ්ඩව ලබාගැනීමටත් කටයුතු කරමින් පවතී.


අද රැයෙන් පසු විදුලිය කැපිල්ලක් නැහැ

ඇමති රවි

මාතෘකා