මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමට ඉන්දියාවේ සහය

 ඡායාරූපය:

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමට ඉන්දියාවේ සහය

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේදී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳ එහිදී අවධානය යොමුව ඇත. එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන් සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහය වන ලෙස කළ ඉල්ලීම පිළිබඳවද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ආරක්ෂක කටයුතුවලදී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් එහිදී නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී ඇතිවූ එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරු එක්ව සාකච්ඡා කිරීමටද තීරණය කෙරිණි.