අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

52 වැනි අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝධිය පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි. චාරිත්‍රානුකූල මඟුල් බෙර, හේවිසි නද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වී ශ්‍රී මහා බෝධිය පැදකුණු කර වැලිමළුවේ විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම මඟින් මෙය ආරම්භ කෙරිණි. ප්‍රථම සහල් මිට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු මැතිඇමතිවරුන්, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් එක් කරන ලදි.

අනතුරුව අලුත් සහල් මංගල්‍යයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආරාධිතයෝ පාත්‍රය සහලින් පිරවීමට එක් වූහ. එසේම සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බඳුන ආදිවාසී නායක වන්නිල ඇත්තන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලදී. මෙහිදී දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ අතර අලුත් සහල් කිරි ආහාර පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ රුවන්වැලිසෑය අභියසදී පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම, ගල්නෑව, නොච්චියාගම, මීගලෑව, තලාව, මහඉලුප්පල්ලම යන ප්‍රදේශවල අක්කර හැටපන්දහසක භූමියෙන් නෙළන ලද අස්වැන්නේ නැවුම් කොටස රුවන්වැලිසෑය වෙත පූජා කිරීම මෙහිදී සිදු විය.

[දිනුක මලින්ද හේරත්]