ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අභියසදී

 ඡායාරූපය:

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අභියසදී

ජාතික අලුත් සහල් මංගල්‍යයට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි උතුරවා සිදුකරනු ලබන දේව කන්නලව්ව ඊයේ (06) අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිණි.

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (07) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. සම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්වීමට නියමිත අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මැදිහත්වීම මත ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙළ බොජුන්හලටද අද අග්‍රාමාත්‍යවරයා විසින් මුල්ගල් තැබීමටද නියමිතය.