බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතුයි

 ඡායාරූපය:

බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතුයි

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේදී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් සියයට 25ක්වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බවයි.  එමෙන්ම විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මඟින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය “අපේ උරුමය මව්බිමයි” තේමාව යටතේ 06 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්වේ. මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500ක්ද ආචාර්යවරුන් හා ආචාර්යවරියන් 750ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී.

තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය.