එළවළු, පළතුරු සහ පොල්තෙල්වල ගුණ අගුණ පිළිබඳ පර්යේෂණ අවසන් බව සුව ඇමැති කියයි

 ඡායාරූපය:

එළවළු, පළතුරු සහ පොල්තෙල්වල ගුණ අගුණ පිළිබඳ පර්යේෂණ අවසන් බව සුව ඇමැති කියයි

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විනි. අප්‍රේල් මස 01 සිට 07 දක්වා ආහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මකයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේදීද, නත්තල් හා අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙසැම්බර් මාසයේදීද ආහාර සුරක්ෂිතතා සතිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරනවා. මෙවර තේමාව වන්නේ සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි. මෙම සතිය තුළදී සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවලදී ආහාර පරිහරණ කරන ආයතන, ආහාර කර්මාන්ත, හෝටල්, බේකරි, සිල්ලර කඩ, තේ කඩ, සුපිරි වෙළෙඳසැල් පරීක්ෂා කිරීමට නියමිතය. බ්‍රහස්පතින්දා දිනවල රජයේ ආයතන, දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපනශාලා, කර්මාන්තශාලා ආපනශාලා, රාත්‍රී කඩ, වීදි කඩ පරීක්ෂා කිරීමට නියමිත අතර සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී සෞඛ්‍ය ආයතන වෙනත් රජයේ ආයතන, පාසල් සහ ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය. මෙම සතිය තුළදී භාවිතයට නුසුදුසු ආහාර සොයාගත් පසු ඒවා විනාශ කිරීමටත්, නීතිමය පියවර ගැනීමටත් කටයුතු යොදා ඇත. වෙළෙඳසැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් දැනුවත් කරන අතර පාරිභෝගිකයාට සුරක්ෂිතව ආහාර පිළිගැන්වීමද ක්‍රියාත්මක වෙයි. මෙහිදී ආහාර අතින් නොඅල්ලා කිසියම් උපකරණයකින් පාරිභෝගිකයාට ලබාදිය යුතු වෙනවා. හෝටල් සහ ආපනශාලා ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති අතර ඉදිරියේදී තවත් නීති රීති ගෙන ඒමට අපි තීරණය කර තිබෙනවා.