මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නන්ට සහ භාවිතා කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීති රීති

 ඡායාරූපය:

මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නන්ට සහ භාවිතා කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීති රීති

විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන්ම ඒවා ළඟ තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිවද ඉදිරියේදී දැඩි නීති රීති කි‍්‍රයාත්මක කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඔවුන් සතුව පවතින මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ගණනය කිරීම ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුවන කි‍්‍රයාවලියේදී සම්පත් හිඟවීම ඇතුළු කරුණු හේතුවෙන් ප‍්‍රායෝගික ප‍්‍රමාදයන් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර එම ප‍්‍රමාදයන් වළක්වා ගනිමින් වැරදිකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව එක් කර ගනිමින් අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය වෙත උපදෙස් දුන්නේය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් දැනට විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මඟින් සිදුකරන වැඩසටහන් පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරුණු අතර එම සියලු ආයතන සමඟ සාකච්ඡාවක් කැඳවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවන් ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරිණි.

සුරාබදු ආඥා පනත සංශෝධනයට අදාළ කටයුතුවල මේ වන විට ප‍්‍රගතිය පිළිබඳවද එහිදී සමාලෝචනය කෙරුණු අතර අදාළ සංශෝධන මුදල් අමාත්‍යාංශය මඟින් කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙසද  ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතේ සංශෝධන පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර බූස්ස බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමේ වැඩපිළිවෙළට අදාළ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳවත් ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය. මාර්ග අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ සහ නවීන තාක්ෂණ ක‍්‍රමවේදයන් සමඟ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුකරමින් පවතින වෙනස්කම් පිළිබඳවද සමාලෝචනයට ලක් විය.