දරුවන්ගේ හෘද සැත්කම්වලට අවශ්‍ය යන්ත්‍ර කඩිනමින් ගෙන්වීමට සුව ඇමතිගෙන් නියෝග

 ඡායාරූපය:

දරුවන්ගේ හෘද සැත්කම්වලට අවශ්‍ය යන්ත්‍ර කඩිනමින් ගෙන්වීමට සුව ඇමතිගෙන් නියෝග

දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර 17ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දී තිබේ. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුලු ළමා රෝග ඒකක ඇති රෝහල් 17ක මෙම සැත්කම් සිදුකිරීමට නියමිතය.

හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක්‍රීය වීම පාලනය කිරීම සදහා නයිට්‍රික් ඔක්සයිඩ් අවශ්‍ය බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. ඒ ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා හමුවූ අවස්ථාවේදීය. හෘද සැත්කම් සිදු කර ගැනීම සදහා දරුවන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් එහිදී පෙන්වා දුන්හ. ඒ පිළිබඳව ක්ෂණික අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර කඩිනමින් ආනයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. දරුවන්ගේ සැත්කම් කඩිනමින් සිදු කළ යුතු බවත් එය ප්‍රමාද කිරීම පාපකර්මයක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ආනයනය කිරීමට නියෝග කළ යන්ත්‍ර 01ක් මේ වන විට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත කර ඇත. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06ක් සිදු කරනු ලබයි.