නිරෝධායන භාණ්ඩ සඳහා රේගු නීති දැඩි වේ

 ඡායාරූපය:

නිරෝධායන භාණ්ඩ සඳහා රේගු නීති දැඩි වේ

ශාක වර්ග, සතුන්, මස් මාංශ මෙන්ම පලතුරු කටුනායක ගුවන්තොටුපළ හරහා රට තුළට ගෙන ඒමේදී සහ රටින් ගෙන යෑමේදී අදාළ රටෙන් නිරෝධායන සහතිකය අත්‍යවශ්‍ය බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ඊයේ (24) 'රැස' කළ විමසීමකදී පැවසීය.

නිරෝධායන සහතික නොමැතිව රට තුළට ගෙන එන භාණ්ඩ වර්ගවලින් පරිසරය විනාශ වීමට ඉඩ ඇති බැවින් එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගු ආඥා පනත, වෘක්ෂලතා පනත ඇතුළු අණපනත් 60ක් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට කටයුතු කර ඇත.

නිරෝධායන සහතිකය නොමැතිව සහ බලපත්‍ර නොමැතිව ගෙන එන භාණ්ඩ අතර වල්ලපට්ටා, කොතලහිඹුටු, කෑස්බෑ පොතු, කෑස්බෑ ලෙලි, ශාක වර්ග, සතුන් සහ තොග පිටින් මෙරටට ගෙන එන පැළෑටි වර්ග ආදිය නිරෝධායන ආයතනය වෙත යොමු කර විනාශ කිරීමට කටයුතු කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෑතක සිට සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පළතුරු, ශාක සහ සතුන් පිළිබඳව වැඩි කථාබහක් ඇති වී තිබීම මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීමට හේතු වී ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති බලතල මත, කටුනායක ගුවන් තොටුපොළේදී මෙසේ නීරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සඳහන් සියලු ද්‍රව්‍යයන් අත්අඩංගුවට ගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නීරෝධායන නිලධාරීන් වෙත යොමු කරන අතර ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව විනාශ කර දමන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙසේ රැගෙන එන පලතුරු, එම රටවල නගර වීදිවල තබා ඇති වෙළඳසැල්වලින් මිලදී ගත් ඒවා වන බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට නොයෙකුත් ලෙඩ රෝග වැළඳීමේ හැකියාව තිබේ. එම පළතුරු මෙරටට රැගෙන ඒම මඟින් ශ්‍රී ලාංකික වගාවන්ට විදේශ රටවල පරපෝෂිතයන් සහ දිලීර වර්ග පැතිර යාමෙන් ඇති වන වගා විනාශ වැළැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ ආකාරයට විදේශීය පලතුරු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම හේතුවෙන් දේශීය පලතුරු වගාවන් අභාවයට ගොස් ඇති බවත් බටහිර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල්ද මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉහත පනත් මඟින් පැවරී ඇති බලතල උපයෝගී කරගෙන, ශ්‍රී ලංකා රේගුව

ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විෂබීජ, ලෙඩ රෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා