උතුරට කෘෂි වසන්තය ළඟයි

 ඡායාරූපය:

උතුරට කෘෂි වසන්තය ළඟයි

යුද්ධය යනු ලාංකිකයන් ඇසීමට අකමැතිම වචනවලින් එකක් කිව්වොත් නිවැරදිය. ඒ තරමටම යුද්ධය නිසා සියල්ලෝ හෙම්බත් වී සිටිති. යුද්ධය නිමා වී වසර නවයක් ගත වුවද තවමත් ඒ බිහිසුණු අතීතයේ සේයා එයින් පීඩා විඳි වැසියන්ගේ සිත් තුළ හොල්මන් කරයි. උතුර යනු යුද්ධයෙන් වැඩිවශයෙන් පීඩා විඳි වැසියන් නියෝජනය කළ පළාතයි.

යුද්ධය නිමා වී වසර නවයක් ගත වෙමින් පවතින මේ මොහොතේ උතුරුකරය කලින් තිබුණාට වඩා වෙනස් තැනක් වී හමාරය. මිනිස් වාසයෙන් තොර හුදෙකලා භූමි වෙනුවට දැන් උතුර යනු ජනාකීර්ණ ප්‍රදේශයකි. තල් රුප්පාවල කඳන් පමණක් ඉදිරිව තිබූ උතුරුකරයේ දැන් තැනින් තැන වාස භූමි පෙනේ. යුද බියෙන් විදේශයන්ටද ලංකාවේ වෙනත් ප්‍රදේශවලටද ගිය සාමාන්‍ය වැසියෝ තමන්ගේ මුල් භූමි සොයා නැවත පැමිනෙමින් සිටිති.

ඒ හා සමානවම උතුරේ සංවර්ධන ක්‍රියාදාමයන්ද දියත් වෙමින් පවතියි. විශේෂයෙන්ම යාපනය යුද හමුදා මූලස්ථානයේ සහයෝගය ඇතිව යාපනයේ සංවර්ධන කාර්යයන් රජයේ අනුග්‍රහය ඇතිව සිදු කෙරේ. උතුරේ සංවර්ධනය ගැන කතා කරන විට කෘෂිකර්මාන්තය විශේෂ ස්ථානයක් ගන්නා බව කිව යුතුමය.

උතුර යනු මීට වසර තිහකට පෙර බොහෝ සශ්‍රික වගා බිම් පැවති ප්‍රදේශයක් වේ. එකල වානිජ බෝග රැසක් උතුරු පළාතේ අක්කර සිය ගණනින් වගා කොට ඇත. නමුදු ඉන්පසු වසර තිහක කාලය එම වගාබිම් යුද බිම් බවට පරිවර්තනය වී ඇති බව සියල්ලන්ම දන්නා කරුණකි.

යුද්ධය නිමා වුවද උතුරුකරයේ වැසියන්ට ජීවත් වීමට හරි හැටි අරමුණක් නොවුණි. ඔවුන්ගේ ජීවනෝපායන් කරගෙන යාමට අවැසි ප්‍රතිපාදන නොතිබුණි. සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව යටතේ ඒ සඳහා විශාල සේවයක් ඉටුවිය.

උතුරු පළාතේ බොහෝ වැසියන් කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය බවට පත් කරගෙන සිටිති. එම නිසාම ඔවුන්ට අවැසි වූයේ නැවත කෘෂිකර්මාන්තය නගා සිටුවා තම ජීවනෝපාය කරගෙන යාමට වැඩපිළිවෙළකි.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීම උතුරේ බලධාරීන් තීරණය කර ඇත. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි.

දැන් උතුරේ වැසියන්ට අරමුණක් ඇත. ඒ අරමුණ උතුරේ බලධාරීන්න් විසින් ඔවුන්ට ලබාදුන් අරමුණක් වේ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය රජය විසින් ඔවුන්ට ලබාදේ. උතුරුකරයේ මේ දියත් කරනු ලබන විශේෂ වැඩපිළිවෙළ සඳහා වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප බ්‍රිගේඩියර් අජිත් අලවත්ත මහතා සම්බන්ධ කරගත්තෙමු.

උතුරේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගෙන ඇති පළමු පියවර වන්නේ වාණිජ බෝග වගා ව්‍යාප්ත කිරීමයි. සරුසාරවත් පසක් හිමි උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට උතුරේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇත. ඒ යාපනය අර්ධද්වීපයේ පොල් පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙළ වේ.

ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මෙන්ම වෙනත් සංවිධානද සහාය ලබාදේ. යාපනයේ යුද හමුදා සෙබළුන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි. මේ වන විට එම පොල් වගා ව්‍යාපෘතියෙම් සියයට විසි පහක් පමණ අවසන් කර ඇති බව බ්‍රිගේඩියර් අජිත් අලවත්ත මහතා 'රැස'ට පැවසීය.

" උතුරු පළාත කියන්නේ විශාල භූමි ප්‍රදේශයක් සහිත පළාතක්. ඒ නිසා එම භූමියෙන් නිසි ප්‍රයොජනයක් ලබාගැනීම වගේම උතුරු පළාතේ ජනතාවට එයින් ආදායමක් ලබාගැනීමට ඉඩහසර සැලැස්වීම තමයි අපේ අරමුණ. උතුරේ මිනිස්සු මේ කෘෂිකර්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ අයගේ උපරිම සහයෝගය හමුදා සෙබළුන්ට ලබාදෙනවා."

බ්‍රිගේඩියර් අජිත් අලවත්ත මහතා මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ පැවසීය.

උතුරේ කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ලැබෙනේ විශාල සහයෝගයකි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ සංකල්පයක් වන "අපි වවලයි - අපි කන්නේ" වැඩපිළිවෙළ උතුරුකරයේද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කොට අවසන් ය.

පළාලි යුද හමුදා කදවුර හා කෘෂිකර්ම අමාත්‍යංශය සම්බන්ධ වී මෙහි කටයුතු සම්පාදනය කරයි. "අපි වවලයි - අපි කන්නේ" වැඩපිළිවෙළ යටතේ උතුරේ අක්කර 285ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට නියමිතය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ටී.එච්.එම්.ටී. සාගර මහතා සම්බන්ධ කර ගත්තෙමු.

මේ සඳහා විශේෂ බළගණයක් සූදානම් කිරීම ව්‍යාපෘතියෙහි එක් විශේෂත්වයකි. එහි සාමාජිකයන්ද විශේෂය. එනම් පුනරුත්ථාපනය කරන ලද වැසියන් සඳහා පුහුණුව ලබාදී ඔවුන් යුද හමුදාවට බඳවාගෙන ඇත.

නමුත් වසර තිහක කාලයක් තිස්සේ යුද්ධයේ බිහිසුණුකම අත්වින්ද ඔවුන්ට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හරිහැටි දැනුමක් නොවීය. එම නිසා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන්ට මූලික දැනුමක් ලබාදී මේ සඳහා ශ්‍රම දායකත්වය ඔවුන්ගෙන් ලබාගැනීමට කටයුතු කරයි.

එම වැඩපිළිවෙළ යටතේ අඹ පැළ 1000ක් සිටුවීමට සහ කොස් පැළ 10,000 සිටුවීමට කටයුතු සූදානම් කිරීම විශේෂය. මේ සඳහා මේ වන විට භූමිය සකස් කරමින් පවති. එමෙන්ම කාන්තාර පැළෑටියක් හා ඖෂධීය ගුණයෙන් අනූණ පැලෑටියක් වන කෝමාරිකා උතුරේ අක්කර 50ක වගා කිරීමට මේ වන විට සැලසුම් කොට අවසන් ය.

එමෙන්ම බතල අක්කර 25ක භූමි ප්‍රමාණයකද මඤ්ඤොක්කා අක්කර 20ක භූමි ප්‍රමාණයකද වගා කිරීමට කටයුතු මේ වන විට සූදානම් ය. ලූනු වගාව යනු උතුරු කරයේ වැසියන්ට ඒ තරම් හුරු පුරුදු වගාවක් නොවේ.

එන නිසා ලූනු වගාව හඳුන්වාදී එය සාර්ථකව කරගෙන යාමටද ඔවුහු බලාපොරොත්තු වෙති. එමෙන්ම යාපනයේ කලක් ඉතා සාර්ථකව වගා කෙරුණු මිදි වගාවද නැවත ආරම්භ කිරීමට සැකසුම් මේ වන විට සකස් කරමින් පවති.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කතා කරන විට වී ගොවිතැන අමතක කළ නොහැකිය. ඒ තරමටම ලංකාව යනු වී ගොවිතැන මිනිසුන්ට සමීපය. උතුරුකරයේ දියත් කරන මේ කෘෂිකර්මික වැඩපිළිවෙළේද වී ගොවිතැන විශේෂ ස්ථානයක් ගනී. දේශීය වී ගොවිතැන කලකට පෙර යාපනය ප්‍රදේශයේ සරුසාරව තිබුණු නමුද යුද සමයේ එය යටපත් විය. පච්චපෙරුමාල්, සුවඳැල්, මොරුගන් වැනි දේශීය වී යාපනය ප්‍රදේශයට නැවත හඳුන්වාදී විශාල බිම් පෙදෙසක වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය මේ වන විට සැලසුම් කරමින් පවතියි.

"මේ මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න ක්‍රමයක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය කියන්නේ ඒකට හොඳම විසඳුම. කෘෂිකර්ම අමාත්‍යංශය දියත් කරන සංවර්ධන ව්‍යාපෘති අතරින් උතුටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ සඳහා සියලු ප්‍රතිපාදන අමාත්‍යංශය මගින් ලබාදෙනවා.

මේ සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහත්මයා අපට ලබාදෙන සහයෝගය අගය කළ යුතුයි. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා මේ සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් උතුරේ ජනතාවගේ සිහින සැබෑ කරන්න දායකත්වය ලබාදෙනවා.

ලංකා පොහොර සමාගමත්, සංස්ථා කාබනික දියර පොහොර අංශයත්, සංස්ථා කාබනික කැට පොහොර අංශයත් මෙහිදී අපට විශාල සහයෝජයක් ලබාදෙනවා. අපට අවශ්‍ය වන්නේ යුද බිය පැතිරුණු උතුරේ කෘෂි වසන්තයක් පතුරන්න."

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ටී.එච්.එම්.ටී. සාගර මහතා මේ උතුරේ කෘෂි වසන්තය ගැන අදහස් දැක්වූවේ එසේය.

පශ්චාත් යුද සමයේ එවකට සිටි පාලකයින්ගේ වැඩි අවධානය යොමු වූයේ යුද්ධය නිමා කිටිම සම්බන්ධයෙන් උදම් අනන්නටය. ඔවුන් වැඩි කාලයක් ඒ සඳහා ගත කොට උතුර සංවර්ධනය සඳහා යෙදවූයේ කුඩා කාලයකි. විශේෂයෙන් යුද්ධය නිසා සී සී කඩ ටුණු ජීවිත හිමි උතුරේ වැසියන්ගේ ජීවනෝපාය සකස් කිරීමට ඔවුන් අවධානය යොමු නොකළ තරම් ය.

එහෙත් දැන් එසේ නැත. දැන් උතුරුකරයේ වැසියන්ට අරමුණු ගොන්නක් ඇත. බලාපොරොත්තු කන්දරාවක් ඇත. ඒ සඳහා ටිකෙන් ටික මල් පල ගැන්වෙන උතුරේ කෘෂි වසන්තය තව තවත් ඒ හිත් දිරිමත් කරයි. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ යුද හමුදාව කරන මෙහෙය ප්‍රසංශනීයය. දකුණේ සේම උතුරටත් සිනා මල් පිපෙනු දැකීම සියල්ලන්ගේම අපේක්ෂාවයි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා