ඡන්දය ඉල්ලන්නට පුරවැසිකම ඉවත් කරන්න බෑ : ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

 ඡායාරූපය:

ඡන්දය ඉල්ලන්නට පුරවැසිකම ඉවත් කරන්න බෑ : ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ඇමරිකානු පුරවැසියකු සිය පුරවැසිභාවය ඉවත් කරන ලෙස සිදුකරන ඉල්ලීමක් පිළිගත හැක්කේ එය නිරායාසයෙන් කරන ඉල්ලීමක් නම් පමණක් බවත්, එය කිසියම් පෙලඹවීමකින් කරන ඉල්ලීමක් නොවිය යුතු බවත් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී තිබේ.

'ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව ලොසාඩා කොලොන්’ නමැති අංක 99-259 දරන නඩුවට අනුව ඡන්දයක් ඉල්ලීම සඳහා පුරවැසිභාවයෙන් ඉවත් වීමට කරන ඉල්ලීම, පෙලඹවීමකින් කරන ඉල්ලීමක් බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රී ලංකාවේ මෙන්ම, ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සඳහා තරග කිරීම වළක්වාලමින් නීති බල පැවැත්වෙන 'පුවෝටෝ රිකෝ' හි නගර සභාවක නගරාධිපතිධුරය සඳහා තරඟ කිරීමට සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට 'ඇල්බර්ටෝ ලොසාඩා කොලොන්' නැමැති අය කළ ඉල්ලීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව එම තීන්දුවට එරෙහිව ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් තමාගේ පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය ලේකම්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම මේ අයුරින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප වී ඇත.

මේ අතර, මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (12)

'ද හින්දු' පුවත්පත සමඟ කළ සාකච්ඡාවේදී, මීළඟ ජනාධිපතිවරණය සඳහා තම සහෝදරයා ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට පවසා ඇත. හිටපු ජනපතිවරයාගේ සහෝදරයන් තිදෙනෙකු මේ වන විට ප්‍රසිද්ධ දේශපාලනයෙහි නිරතව සිටින අතර, ඔවුන් අතරින් කවුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි පැහැදිලි කර නොමැත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාම ඇමෙරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන් බැවින් ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව හිටපු ජනපතිවරයාගේ තීරණයට සෘජුවම බලපෑමට ඉඩ තිබේ.

[මංජුල සමරසේකර]

මාතෘකා