ගැටුම වෙනුවට බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි

 ඡායාරූපය:

ගැටුම වෙනුවට බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි

“ගැටුම් නොවෙයි අපිට දැන් අවශ්‍ය වන්නේ, මේ හැගීම්බර දේශපාලනයෙන්, හැගීම්බර ජනමාධ්‍යවේදී කලාවෙන් විතැන් වි සියලු දෙනාම එකතුව ශාස්ත්‍රීය කතිකාවතකට යාම අවශ්‍යයි” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් මහාචාර්්‍ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

එතුමා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

රටේ බුද්ධිමතුන්, වෘත්තියවේදීන්, වෘත්තිකයන් හා එකතුව පක්ෂ ඉදිරි දැක්ම සහ රටේ ඉදිරි දැක්ම පිළිබඳව ප්‍රතිපත්තිමය සකච්ඡාවක් පැවැත්විය යුතුයි. ඒ සදහා ප්‍රවේශයක් ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බුද්ධිමතුන් සියලුදෙනා සමඟ සාකච්ඡාව ආරම්භ කිරීම කළ යුතුය. තම තමන්ට අදාළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව රටේ දැක්මට පක්ෂයේ දැක්මට අනාගත ලංකාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ යුතුයි.

ප්‍රවාහනය, අලෙවිකරණය, වෙළදාම් කටයුතු, කෘෂිකර්මය, විදේශ ප්‍රතිපත්ති ඇතුළු සියලුම ක්ෂේත්‍ර පිළිබඳව විද්වත් කතිකාවක් ප්‍රතිපත්තිම කතිකාවක් ඇති කළ යුතුයි. ලාංකික සමාජයේ සහ ලාංකීය ගෞරවය යාවත්කාලීන කරන්නේ කොහොමද? එය සමාජයට ගැළපෙන ආකාරයට ගෞරවය යාවත්කාලින කිරීම සහ රටට ආදරය කරන පරම්පරාවක් ඇති කිරිමට සියලුදෙනාම ස්වාදෙශිවාදී ලෙස කටයුතු කරන මෙන් ඉල්ලන අතරම අපි හැමෝටම ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සහයෝගය දෙන මෙන් මම ආරාධනා කරනවා. මේ කරුණු කාරණා කෙරෙන අතරතුර ප්‍රතිපත්තිමය සංවාදයකට යාමේ අවශ්‍යතාව ද තිබෙනවා.

මේ වකවානුවේ විවිධ විරෝධතා ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය ව්‍යාපාර තිබුණා. මේ සියල්ලම හමුවේ සහ මීට දින කිහිපයකට පෙර පැවතී ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව කිව්වොත් එම ජනබල මෙහෙයුම රටක් තුළ තිබිය යුතු නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස අපි දකින්නේ සහ එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස කියන්න පුළුවන්. නමුත් කනගාටුවට එක කරුණක් තිබෙන්නේ ඔවුන් පක්ෂ කාර්යාලය ඉදිරියෙන් ගිය කණ්ඩායම ඒ අවස්ථාවේදී පක්ෂයට හු කියමින්, අපහාස කරමින් ගියා.

මෙයට නායකත්වය දුන් අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා එක්සත් ජනතා සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අයයි. ඔවුන් මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා ඔවුන්ට වෙන පක්ෂයක ඉඳගන්න ඕනා කියා. එයට ජනාධිපතිතුමා අවසර දුන්නා. මම හිතන විදියට ඒ අයට තවත් දේශපාලන පක්ෂ සමාජිකත්වය ලබා ගන්න හෝ ප්‍රවර්ධන කටයුතු වලට සම්බන්ධ වෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ.

ඔවුන් ඔවුන්ගේ අනුගාමිකයන් ලවා කරපු මේ ක්‍රියාව සම්බන්ධයෙන් මට තිබෙන්නේ කනගාටුවක්. මෙය හරියට අපේ සමාජයේ ලාංකික ජන විඥානයේ කියන ආකාරයට තමන් වැදු මවට අපහාස කරනවා හා සමානයි. මෙය සමාජයේ යම්කිසි කම්පනයක් ඇති කරන බව අපි දැක්කා. මේ සම්බන්ධව මාධ්‍යයෙන් ද දිගින් දිගටම වාර්තා කරනවා. මෙවැනි විරෝධතා පැවැත්වීම එවාට පිළිතුරු දීම යන කාරණා නිරෝගී සමාජයක් තුළ තිබිය යුතු ලක්ෂණය නමුත් මේවා සියල්ලම ආචාරධර්ම ඇතිව කර යුතුයි. නිදහස් අවකාශයක් තුළ මෙවැනි විරෝධතා ව්‍යාපාර කිරීම සඳහා ඉඩහසර තිබ්බත් මෙලෙස ආචාරධර්ම කඩ කිරීමට අවශ්‍යතාවක් නැහැ.

මට හිතෙන ආකාරයට ඔවුන් අචාරධර්ම වලින් මිදෙමින් යනවාද කියා මට සිතෙනවා. මෙවැනි ක්‍රියා පිටු දැකිය යුතුයි. ඉතිහාසය පුරාම මෙවැනි දේවල් අපි දැක්කා පක්ෂය හදපු මුල්ම පක්ෂ නායකයාව මරලා දැම්මා, පක්ෂය දෙකඩ වුණා, පක්ෂය කැඩුනා. නමුත් දැන් එසේ නොවෙයි. මෙම පක්ෂය විනාශ වෙන්නේ නෑ. එයට ඉඩ දෙන්නේත් නෑ. ඔවුන් දේවල් සිදු වුණත් ඔවුන් පුද්ගල කේන්ද්‍රියව කරපු සෑම කටයුත්තක්ම සාර්ථක වූයේ නැහැ.

සියලුම අභියෝගයන් මධ්‍යයේ අපි පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේ රැස් වෙනවා. එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂ සම්මේලනය සහ පක්ෂයේ දැක්ම පිළිබදව සකච්ඡා කරනවා. පක්ෂයේ 67 වෙනි සංවත්සරය පැවැත්වීම සම්බන්ධව ජනාධිපතිතුමා හා සමග කතා කර දිනයක් දමා ගත යුතුයි.

මීට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව කරගෙන යන බවත් මතක් කළ යුතුයි. ඊට අමතරව ජන බල මෙහෙයුමට අදාළව යම් යම් විවේචන ඇතොත් ඒ සම්බන්ධව සොයා බලා ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඉවසීමෙන් ඒ දිහා බැලිය යුතුයි. පක්ෂයක් විදියට හැසිරෙන්න බැහැ. අපිට අරමුණක් තිබෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. ඒ සඳහා සියලු දෙනාම එකතු විය යුතුයි.

අපේ තිබෙන ප්‍රධාන ජාතික අරමුණට දැන් අපි කටයතු කල යුතුයි. රටේ තියෙන සියලුම ප්‍රගතශීලි බලවේග ඇතුළු සියලුම දෙනා එකතුවිය යුතුයි. මහා ජාතික දැවැන්ත පෙරමුණට ඔවුන්ව එකතු කරගන්න ඕන. විවේචන ආවත් ඒවාට ඉවසිලිවන්තව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. පක්ෂයට රටට එරෙහිව කටයතු කරන්නන්ගේ නිරුවත ඉදිරියේදී හෙළි වෙයි.

රටේ සියලුම පැතිකඩයන් හා උදාහරණයක් ලෙස අපේ රටේ අධ්‍යාපන බැලුවොත් එය ජාත්‍යන්තර රටවල් හා සසඳා බැලීමේදී අධ්‍යාපනය තවදුරටත් නැංවිය යුතුයි. ඒ නිසා සියලු දෙනාම ජාතික ප්‍රතිපත්තියට එකතු වීමයි විය යුත්තේ.

[තියේෂා ද සිල්වා] ඡායා: [නිරෝෂ් බටේපොළ]

මාතෘකා