බිලි පූජා තහනම්!

 ඡායාරූපය:

බිලි පූජා තහනම්!

හින්දු කෝවිල් තුළ හෝ එහි සීමාව තුළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පූජා තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

හින්දු සිද්ධස්ථාන හා පරිශ්‍ර තුළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පූජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කළ යුතු බවට නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

සත්ත්ව බිලි පූජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිළි නොගැනීම හේතුවෙන් සත්ත්ව බිලි පූජා පැවැත්වීම දඬුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීතිගත කළ යුතු බවට හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම්වල මතය වී ඇති බව එම අමාත්‍යංශය පවසයි.

ආගම් හා ඒ ආශ්‍රිත චාරිත්‍ර මත පදනම්ව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදු කෙරෙන සත්ත්ව ඝාතන ක්‍රියාවලිය නැවතීම සඳහා කටයුතු සකස් කිරීමට රජයට මේ වන විට යෝජනා කර ඇති බවත් ඒ වෙනුවෙන් නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ඊයේ (11) සම්මත වූ බවත් හින්දු ආගමික අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්. කර්ජින් මහතා 'රැස'ට පැවසීය.

හින්දු පූජනීය ස්ථාන තුළ සත්ත්ව බිලි පූජා නතර කළ යුතු බවට වන තීරණය සම්බන්ධයෙන් 'රැස' කළ විමසීමකදී හින්දු ආගමික කටයුතු අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

ආගම් මත පදනම් වූ මෙවැනි චාරිත්‍ර ශ්‍රී ලංකාවේ සංස්කෘතියට කිසිසේත්ම නොගැළපීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර හින්දු ආගමට අනුකූල සත්ත්ව බිලි පූජා වෙනත් රටවල සිදුවුවද මෙරටට නොගැළපෙන එවැනි චාරිත්‍ර සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

[නිමාෂා සඳරුවනි] [අසේල ලියනගේ]

මාතෘකා