රොකට්ටුවක් නිර්මාණය කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවාට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

 ඡායාරූපය:

රොකට්ටුවක් නිර්මාණය කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවාට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

කිලෝ මීටර් 20ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවති ප්‍රදර්ශනයේදී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සදහන් කළේය. ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන්ද මෙම අවස්ථාවට කැදවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සදහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.