බත්තරමුල්ල - පැලවත්තේ සුපිරි රෙදිපිලි වෙළෙඳසැලක් ගින්නෙන් අළු වෙයි

 ඡායාරූපය:

බත්තරමුල්ල - පැලවත්තේ සුපිරි රෙදිපිලි වෙළෙඳසැලක් ගින්නෙන් අළු වෙයි

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති රෙදිපිලි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන පෞද්ගලික වෙළෙඳසැලක ඊයේ (11) පෙරවරුවේ හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළෙඳසැල තුළ තිබූ බඩු භාණ්ඩ සමග සමස්ත වෙළඳසැලම සම්පූර්ණයෙන් විනාශ විය.

ගින්න හටගත් අවස්ථාවේ වෙළෙඳසැළ විවෘතව පැවති බැවින් පාරිභෝගිකයින් ඇතුළු සේවකයින් රැසක් ගොඩනැගිල්ලේ රැඳී සිටියද ගින්න හට ගැනීමත් සමඟ සියලු දෙනා ගොඩනැගිල්ලෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යොමු වී තිබේ. ගින්න ඉතා වේගයෙන් පැතිරගොස් රෙදිපිලි වෙළඳසැල අසල ටයර් අලෙවි කිරීමේ වෙළෙඳසැලකටද ව්‍යාප්ත වී තිබිණි.

මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට තලංගම පොලිසිය පියවර ගත් අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 05ක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 05ක් ඇතුළු ගිනි නිවන රථ 10ක් යෙදවීමට කටයුතු කර ඇති අතර දිගින් දිගටම ගින්න පැතිරීම හේතුවෙන් එය නිවා දැමීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක්ද යොදා ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගින්න ඇතිවීම සඳහා බලපෑ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

[දිනුක මලින්ද හේරත්]ඡායා - [සමන් වීරසිරි]

මාතෘකා