දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ස්ථිරයි

 ඡායාරූපය:

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ස්ථිරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ මරණ දඬුවම ඊයේ (11) තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල, මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් කුමාර බණ්ඩාර යන විත්තිකරුවන්ට මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අතර ඔවුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම නිශ්ප්‍රභ කළේය. මහාධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටි, විත්තිකාර දුමින්ද සිල්වාගේ ආරක්ෂාව සඳහා එවකට යොදවා සිටි පොලිස් නිලධාරියා වශයෙන් කටයුතු කළ අනුර තුෂාර ද මෙල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා, විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය මත අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2016 සැප්තැම්බර් මස 8 වැනිදා ලබා දුන් නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු 2011 ඔක්තෝබර් මස 8 වැනිදා හිඹුටාන ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එය විභාගයට ගැනිණි.

සාපරාධී බිය ගැන්වීම, සාපරාධී බිය ගැන්වීම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු චෝදනාවන්ට විත්තිකරුවන් 5 දෙනෙකු වැරදිකරුවන් බවට තීරණය කරමින් විනිසුරු මඬුල්ලේ සාමාජික පත්මිණී එන්. රණවක, එම්.සී.බී.එස්. මොරායස් යන මහත්වරුන් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ අතර විනිසුරු මඬුල්ලේ සාමාජික ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

ඒ අනුව විතානලාගේ අනුර තුෂාර ද මෙල්, ශ්‍රීනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, කෝවිලේගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර අරුමාදුර, ලෝරන්ස් රොමේලෝ, දුමින්ද සිල්වා, දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලබොඩ යන විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කර තිබූ අතර දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ නැමැති විත්තිකරු අතුරුදහන් වී සිටීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් විසින් එම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනිල් සිල්වා, ශවින්ද්‍ර ප්‍රනාන්දු, අනූජ ප්‍රේමරත්න, අනුර මැද්දෙගොඩ, සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

[නෙල්කා මැදගෙදර]

 

මාතෘකා