දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට නඩු

 ඡායාරූපය:

දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට නඩු

ශ්‍රී ලංකාව තුළ පාසැල් අධ්‍යාපනය 1 වසරේ සිට 13 වැනි වසර දක්වා අනිවාර්ය කර තිබෙන අවස්ථාවක, ළමයින් පාසැල් නොයවන දෙමව්පියන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව රටක් වශයෙන් අවුරුදු 70ක් පමණ ආපස්සට ගොස් ඇති බවත්, සිය ආණ්ඩුව රට හදන විට විපක්ෂයේ පිරිස් බලයට පැමිණ ඒවා යළි විනාශ කරන බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඇය ඒ බව සඳහන් කළේ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඉදි කළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (9) එක්වෙමිනි.

අමාත්‍යවරිය එහිදී මෙසේද පැවසුවාය.

"රටක් විදිහට අපි අවුරුදු 70ක් විතර ආපස්සට ගිහින් තියෙනවා. අපි රට හදනවා, ඒගොල්ලෝ ඇවිත් හදපු රට විනාශ කරනවා. ඒක තමයි ඉතිහාසයේ හැමදාම වුණේ. 'මීට වඩා හොඳ කට්ටියක් ඇවිල්ලා වැඩක් කරනවා' කිව්වොත් අපි ආණ්ඩුව තියලා ගෙදර යනවා. කිසිම රජයේ නිලධාරියෙකුට අපි බලපෑම් කරන්න සුදානම් නැහැ. අපේ රටේ දුප්පත්කම නැති කරන්න, රටේ ජනතාව නඟාසිටුවන්න ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කටයුතු කරනවා."

[දිනුක මලින්ද හේරත්] [නිමාෂා සඳරුවනි]

මාතෘකා