එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

 ඡායාරූපය:

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රී ලංකාව ලබා තිබෙන සාධනීය ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය විසින් ඇගයුමට ලක් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අතර හමුව පසුගියදා (29) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදු වූ අතර එහිදී මෙලෙස ලංකාව ඇගයීමට ලක් වී ඇත.

අසීරුතා රැසක් මධ්‍යයේ වුවද අද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවට ඒ සඳහා අඛණ්ඩවම සහය ලබාදෙන බවය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය මෙහිදී මහලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ශක්තිමත් කරන බවත් සංවර්ධනය, සංහිඳියාව උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය එහිදී ජනාධිපතිවරයා හමුවේ කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මාතෘකා