ලොකු පුටුවල නොසැලකිල්ලෙන් ජාත්‍යන්තර නිලය අහිමි වූ ලාංකේය පොලිස් නිලධාරියා

ලොකු පුටුවල නොසැලකිල්ලෙන් ජාත්‍යන්තර නිලය අහිමි වූ ලාංකේය පොලිස් නිලධාරියා

නිලතල අතර බොහෝමයක් පාහේ 
ශ්‍රී  ලාංකික නියෝජනයන් නිරතුරුවම දැක ගත හැකිය. ඒ මෙරට සතුව ඇති උගතුන්,  බුද්ධිමතුන් හා දක්ෂ රාජ්‍ය සේවකයන් නම් වූ දැවැන්ත මානව සම්පත නිසාය. එකී මානව සම්පත නිසා ශ්‍රී ලංකාවට නිරන්තර පැසසුම් ලැබේ. නමුත් ලංකාවේ සමහර රාජ්‍ය නිලධාරීන්ගේ හා රාජ්‍ය ආයතනවල ක්‍රමවේදයන්ගේ පවතින දුර්වලතා හේතුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කිරීමට 
ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නාවූ අගනා අවස්ථා අහිමි වේ. 

පසුගිය වකවානුවේ ලංකාවට එසේ අහිමි වූ රාජ්‍ය සේවයේ ඉහළ නිලතලයක් පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා විය.
ඒ එක්සත් ජාතීන්ගේ සංගමයේ පොලිස් ඒකකයේ නිව්යෝර්ක් ශාඛාවට අනුමත කර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට නීතිය හා සාමය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලපය හේතුවෙන් එම තනතුර අහිමි වීම පිළිබඳ සිදුවීමකි. 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් කොට්ඨාසයේ නිව්යෝර්ක් ශාඛාව විසින් "හයිටි" රාජ්‍යයේ පොලිස් මෙහෙයුමක් සඳහා නිලධාරීන් තෝරා පත් කරගැනීමට පසුගිය වසරේ අගෝස්තු මස අයදුම්පත් කැඳවා තිබුණි. එකල සේවයේ නිරතවූ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතා ඒ සඳහා අයදුම් කළ අතර එම ක්‍රියාන්විතයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් ඒකකය ඔහුව තෝරාපත්කොට තිබිණි. මෑත ඉතිහාසයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජාත්‍යන්තර වශයෙන් හිමි වූ ඉහළම තනතුර මෙය වේ. මෙම තනතුර සඳහා මාසික වැටුප ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 16කි. මීට අමතරව තවත් වරප්‍රසාද රැසක් ඊට හිමිය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ වන විටත් එවැනිම ජාත්‍යන්තර මෙහෙයුම් කීපයකට සම්බන්ධ වී ඇති අතර 2000 වර්ශයේ දී "UN Mission Instimore" හී ප්‍රධාන ප්‍රභූ ආරක්ෂක නිලධාරියා ලෙසත්,  2009 වර්ෂයේ දී එම මෙහෙයුමේම ප්‍රධාන කලාප කොමදෝරුවරයා ලෙස ද,  2011 වර්ශයේ දී චෙන්නායිහි මෙහෙයුමක ආරක්ෂක උපදේශකවරයා ලෙසත් සේවය ලබා දී තිබිණි. ඊට අමතරව ඔහු එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එක්සත් ජාතීන්ගේ එම පොලිස් ක්‍රියාන්විතය සඳහා අයදුම් කළ දෙස් විදෙස් ආරක්ෂක අංශ ප්‍රධානීන් අතරින් ඉහළම සුදුසුකම් ඇති නිලධාරියා වීම මත ඔහුව එම ක්‍රියාන්විතයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට තෝරාගෙන තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් ශාඛාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාර්ගයෙන් 
ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් දැනුම්  දී තිබිණි. නමුත් ඒ වනවිට එම නියෝජ්‍ය පොලිස්පතිවරයා සේවයෙන් විශ්‍රාම ගොස් දින කීපයක් ගත වී තිබිණි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එකී තනතුරට පත් කිරීම පිළිබඳ වාර්තාවක් නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් කැඳවා ඇති අතර එම වාර්තාව යැවීමේ කටයුත්ත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් විසින් සහකාර ලේකම්වරියක් වන මාලිකා සූරියප්පෙරුමට පවරා ඇත. එම සහකාර ලේකම්වරිය නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතා විශ්‍රාම ගොස් ඇති බැවින් ඔහුව එම තනතුරට පත් කිරීම අනුමත කළ නොහැකි බව නිර්දේශ කොට ඇත. ඒ එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් හෝ කිසිදු බලධාරියකුගේ විමසීමකින් තොරවය. 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ විශ්‍රාමික වයස අවුරුදු 60ක් වන නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් ඒකකය පිළිගන්නා වයස අවුරුදු 65 බැවින් ඒ කරුණු මත නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තනතුර සඳහා පත් කර තිබිණි. නීතිය හා සාමය දෙපාර්තමේන්තුවේ පවතින අවිධිමත්භාවය නිසා ඒ අගනා අවස්ථාව අහිමි විය. 
මේ පිළිබඳ අප හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතාගෙන් විමසීමක් කළෙමු. එහි දී හිටපු පොලිස්පතිවරයා අප සමඟ කියා සිටියේ තමාව එම තනතුර සඳහා තෝරා ගනු ලැබූ බවට පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක් කළ බවත් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා එවැනි දැනුම් දීමක් නොකළ බවත් ය. එමෙන්ම එම තනතුර සඳහා නිර්දේශය පොලිස්පතිතුමා අනුමත කොට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට යැවූ බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් ඔහුට දැනගන්නට ලැබී ඇත. එම ජාත්‍යන්තර නිලතලයට නිර්දේශ කිරීමේ දී කුමක් හෝ ගැටලුවක් වන්නේ නම් නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් කැඳවනු ලබන බැවින් ඉන්පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ පිළිබඳ නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් විමසීමක් නොකළ බව ඔහු අප සමඟ කීවේය. ටික කාලයක් ගත වුවද ඒ පිළිබඳ කිසිඳු විමසීමක් නොමැති නිසා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් ඒකකයේ නිව්යෝර්ක් ශාඛාවේ 
ශ්‍රී ලංකාව නියෝජනය කරන තම හිතවතෙක් වූ මේජර් වල්ගමගෙන් මේ පිළිබඳ විමසීමක් කොට ඇත. එවිට මේජර් වල්ගම නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා සිටියේ තමා විශ්‍රාම ගොස් සිටින බැවින් එම තනතුර සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් තමාව ඒ තනතුරට නුසුදුසු බවට නිර්දේශ කොට ඇති බවය. එමෙන්ම මේ වනවිටත් එම තනතුර සඳහා තමා වෙනුවට ඇමරිකානු පොලිස් නිලධාරියකු තොරා පත් කොට ඇති බව ද ඔහුට දැනගන්නට ලැබී ඇත. 
"ලංකාවේ විශ්‍රාම වයස 65 වුණාට UN එකේ විශ්‍රාම වයස 60යි. මේ වගේ නිලයක් ලැබුණාම සාමාන්‍යයෙන් විශ්‍රාම වයස දීර්ඝ කරන්න පුළුවන්. වෙනත් රටවල එහෙම දීර්ඝ කිරීම් කරනවා. ඒත් මේකෙදි අඩු ගාණේ මාව කැඳවීමක්වත් කළේ නැහැ. මෑත කාලයේ මට UN එකෙන් කිව්වා ආයිමත් අමාත්‍යාංශයට පෞද්ගලිකව ඉල්ලීමක් කරන්න කියලා. ඒත් මම ඒකට උත්සාහා කළේ නැහැ. තවත් කෙනෙකුට මේ දේ වියයුතු නැහැ. රටට ලැබෙන මේ වගේ අවස්ථා අමාත්‍යාංශවල වෙන අත්තනෝමතිකකම් නිසා නැති වෙලා යනවා. වෙන රටවල ජාත්‍යන්තයෙන් නොලැබෙන දේවල් කොහොමහරි ගන්න බලනවා ඒත් ලංකාවේ දෙන අවස්ථාවත් ගන්න දෙන්නෙ නැහැ. ඒ ගැන මට හරි කනගාටුයි. මේ සිදුවීමෙන් පස්සෙවත් වෙන කෙනෙක්ට මේ වගේ දෙයක් සිදුනොවෙනවා නම් හොඳයි. "
ඒ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්ගේ මේ පිළිබඳ අප සමඟ පැවසුවේ එසේය.
කෙසේ වුවද නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන්ගේ අවිධිමත් භාවය හේතුවෙන් ලංකාවේ ඉහළ පොලිස් නිලධාරියකුට හිමි විය යුතු නිල තලයක් මෙන්ම ලංකාවට හිමි වන්නට තිබූ කීර්ති නාමයක් අහිමි වී හමාරය. මෙහි චෝදනව එල්ල වනුයේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් මාලිකා සූරියප්පෙරුමටය. එම නිසා මෙහි වගඋත්තර පාර්ශ්වය වන හිටපු සහකාර ලේකම් මාලිකා සූරියප්පෙරුමගෙන් මේ පිළිබඳ විමසීය.  එහි දී නීතිය හා සාමය අමාත්‍යාංශයේ සහකාර ලේඛම්වරිය අප සමඟ කියා සිටියේ නීතිය හා සාමය අමාත්‍යාංශය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත කාර්යාලය සමඟ සම්බන්ධතා පැවැත්වීමේ වගකීම තමාට පැවරී ඇති බැවින් එය ඊමේල් පණිවිඩ හරහා පවත්වාගෙන යනු ලබන බවත් ය. මෙවැනි ජාත්‍යන්තර තනතුරු සඳහා නිර්දේශ කිරීම් තම ඊමේල් පණිවිඩයට පැමිණෙන බවත් ඒවා සියල්ල  ඇය පොලිස්පතිවරයාට යොමු කරන බවත් පොලිස්පතිවරයාගේ නිර්දේශ කිරීම් අනුව ඒ සඳහා අය නැවත පිළිතුරු සපයන බවත් අප සමඟ කියා සිටියේ ය. 
"නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු මේ තනතුර ගැන පොලිස්පතිවරයාගේ නිර්දේශයත් මම එක්සත් ජාතීන්ගේ පොලිස් ඒකකයට යැව්වා. පොලිස්පතිවරයා මේකෙදි කියලා තිබුණේ 'මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා 2017 ඔක්තෝබර් 6 වනදා සිට විශ්‍රාමිකයි. නමුත් විශ්‍රාමික නිලධාරියෙක් සේවයේ යොදවා ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් නෑ' කියලා. ඒ පණිවිඩයට එක්සත් ජාතීන්ගේ පොලිස් කොට්ඨාසයේ නිව්යෝර්ක් ශාඛාව ආපිට පිළිතුරු එවලා තිබුණේ විශ්‍රාමික නිලධාරියෙක්ව ඒ මෙහෙයුම සඳහා සේවයට ගන්න බැහැ. ඔහුව නැවත සේවයේ පිහිටුවලා නිර්දේශ කරලා එවන්න කියලා. මේක මම පොලිස්පතිවරයාට යොමු කළා. ඒත් පොලිස්පතිවරයාගෙන් ඒ ගැන පිළිතුරු ලැබුණේ නැහැ." ඇය එසේ පැවැසීය. 
නීතිය අනුව විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් නැවත සේවයේ යෙදවීමට නොහැකිය. මෙවැනි අත්‍යාවශ්‍ය අවස්ථාවක දී පොලිස් නිලධාරියෙක්ව එසේ නැවත සේවයේ පිහිටුවනවා නම් ඒ සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍යය. එය පොලිස්පතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හරහා සිදු කළ යුතු ය. එසේ නොමැති වුවහොත් එය ස්වාධීන පොලිස් කොමිෂන් සභාව හරහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කළ යුතුය. එම නිසා මෙහි අනෙක් මැදිහත් පාර්ශ්වය ලෙස පොලිස්පතිවරයා කටයුතු කරන බැවින් අප පොලිස්පති පූජිත විජේසුන්දර සම්බන්ධ කරගත්තෙමු.
පොලිස්පතිවරයා එහි දී අප සමඟ කියා සිටියේ එවැනි කැබිනට් අනුමැතියක් සඳහා තමාට කිසිදු නිර්දේශයක් නොපැමිණි බවත් මේ පිළිබඳ තමා කිසිත් නොදන්නා බවත් ය.
කෙසේ වුවද අවසානයේ නීතිය හා සාමය අමාත්‍යාංශයෙ නිලධාරීන්ගේ අවිධිමත්භාවය හා නොසැකිලිමත් භාවය නිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් කොට්ඨාසය විසින් මෙහෙය වනු ලබන හයිටි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර අහිමි විය. අමාත්‍යාංශවල ක්‍රියා පටිපාටියේ දුර්වලතා නිසා මෙවැනි ජාත්‍යන්තරයෙන් පිරිනමන තානාන්තර මෙන්ම ශිෂ්‍යත්ව පවා මඟහැරේ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවල එම අමාත්‍යාංශය ඍජුව ජාත්‍යන්තර කටයුතු සංවිධාන සමඟ කටයුතු කරන බැවින් ඒවායේ දුර්වලතා එකී සංවිධානයන්හී ද නිරීක්ෂණයට ලක් වේ. මෙයින් සිදුවන්නේ රටේ කීර්ති නාමයට කැළලක් වීම විනා වෙනත් කිසිවක් නොවේ. රටේ පවතින්නා වූ කිසියම් ගැටලුවක් අවසානයේ යොමු කරන්නේ අදාළ බලධාරීන්ටය. එනමුත් ඔවුන්ගේ මැදිහත්වීම දුර්වල වන්නේ නම් රටවැසියාට අත්වන ඉරණම කුමක්ද? මේ එළැඹ ඇත්තේ නොව රටවැසියාගේ ඇස් විවර විය යුතු කාලයයි. 

 

මාතෘකා