තරග පාවාදීම් සහ ගාලු ක්‍රිකට් ඝාතනයේ සම්බන්ධයක්!

 ඡායාරූපය:

තරග පාවාදීම් සහ ගාලු ක්‍රිකට් ඝාතනයේ සම්බන්ධයක්!

ගාලු ක්‍රිකට් සමාජයේ හිටපු ලේකම් ප්‍රේමසිරි හැලඹගේ මහතා ඝාතනයත්, බුකීකරුවන් සමඟ තරග පාවාදීම පිළිබඳව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදු කළ අනාවරණයත් අතර සම්බන්ධයක් ඇත්දැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ සහ ඒ අළලා පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ අංශවල දැඩි අවධානයක් යොමු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රේමසිරි හැලඹගේ මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2016 අගෝස්තු මාසයේ 12 වැනිදාය. මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා නාලිකාව මගින් සිය අනාවරණය කර ඇත්තේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේ ඇති වූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් වීමත් නිසා මේ සැකය මතු වී තිබේ. හැලඹගේ මහතා ඝාතනය වූයේ අදාළ පාවාදීම සම්බන්ධ තරගයෙන් දින කිහිපයකට පසුවය.

මේ අතර ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවකට ගාලු ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා වූ ප්‍රේමසිරි හැලඹගේ වෙත යැවූ අභ්‍යන්තර මෙමෝ සටහනක් සහ ඊට අදාළ ප්‍රතිචාර කිහිපයකි.

අනාවරණය වී ඇති ආකාරයට එම කළමනාකරු ලෙස කටයුතු කරන්නා යවා ඇති මෙමෝ සටහනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙස දන්වා ඇත.

එම 15 දෙනා අතර මේ වන විට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයකුගේ නමද සඳහන්ය. එසේම පළමු වරට ඔහුව ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා ඇත්තේද මේ මෙමෝ සටහන හරහාය.

කෙසේ වුවත් ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නා එම මෙමෝ සටහනට පිළිතුරු යවමින් ප්‍රේමසිරි හැලඹගේට දන්වා ඇත්තේ දැනට සිටින කාර්ය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායමක් පත්නොකරන ලෙසය.

ඒ වන විටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදීමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්තිනාමයට හානි වී ඇති බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙසද ඔහු මේ තැනැත්තාට ආපසු දන්වා ඇත. මේ සටහන් සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, ඉදිරියේදී මීට අදාළව පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

[කාශ්‍යප දිසානායක]

මාතෘකා