දැන් යුද හමුදාවටදේශපාලන බලපෑම් නැහැ : යුද හමුදාපති මහේෂ් සේනානායක

 ඡායාරූපය:

දැන් යුද හමුදාවටදේශපාලන බලපෑම් නැහැ : යුද හමුදාපති මහේෂ් සේනානායක

2015ට පෙර ශ්‍රී ලංකාවේ පැවති වටපිටාව තුළ යුද්ධ හමුදාවට අනිසි බලපෑම් හා දේශපාලන අතපෙවීම් සිදු වූ බව පවසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාපති මහේෂ් සේනානායකය. උතුරු - නැගෙනහිර මුල් කරගත් යුද්ධය අවසන් වී වසර 9ක් ගත වන මොහොතේ යුද හමුදාපතිවරයා ඉන්දියාවේ ජාතික පුවත්පතක් වන 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා සිරිනිවාසන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන දැක්වූ අදහස් පහතින් පලවේ.

සිවිල් යුද්ධය අවසන් වෙලා වසර 09ක්. 2015 රෙජීම වෙනසත් සමඟ එම වකවානුවේ තීරණාත්මක දේශපාලන වෙනස්කම් දෙස බොහෝ දෙනා බලා සිටියා. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය බලාත්මක කිරීමේ පොරොන්දුව උඩ. පශ්චාත් යුද සමයේදී යුද හමුදාවේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද?

1980ට පෙර මුල් තැන ගත් අතිශය අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් රට තුළ ත්‍රස්තවාදී හා අභ්‍යන්තර ආරක්ෂාවේ ස්වරූපයෙන් ආ අභියෝගත් තර්ජනවලටත් මුහුණ දීමට කැපකිරීම් කරමින් ජනතාව අපේක්ෂා කළ සාමය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පුළුල් වුණා. මෑත ඉතිහාසයේ ලෝක සිතියමේ එකම රට වන්නේ සිය භූමියෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සමත් වූ ශ්‍රී ලංකාව. අපි ජයග්‍රාහී යුද හමුදාවක්. සටන් අවසන් වූවාට පසුව තමන්ගේ භූමිකාව හා මෙහෙය තේරුම් ගැනීම යුද හමුදාවේ වගකීමයි. වසර 30කට පෙර කුමක් වුණාද යන්න තේරුම් ගැනීම පසුගිය වසර නවයේදී බරපතල කාරණයක් වුණා. වසර 30කට පෙර ආරම්භ වූ ගැටුම්වල මුල් වෙත මේ රජය හා යුද හමුදාව යා යුතුද? පිටස්තර පුද්ගලයින්ට වඩා අපේම ජනතාව සතුටු කිරීමට කළ හැකි යාන්ත්‍රණයක් අපි සෙවිය යුතුයි. වර්තමානයේ අපි වඩා හොඳ විසඳුමකට ළඟා වී හිඳිනවා. 2015 මැතිවරණයෙන් පසුව ආ යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබෙනවා.

අපි අපේ වගකීම හඳුනා ගැනීමට උතුරේ සහ නැගෙනහිර ජනතාව සමඟ කටයුතු කරනවා. වසර තිහක කුරිරු යුද්ධය දෙපාර්ශ්වයේම ජීවිත බොහෝ ගණනක් නැති කළා. යුද්ධ හමුදාවේ ප්‍රධානියා හැටියට මට කියන්න පුළුවන් මානව සම්පත හා ඕනෑම දෙයකින් සමන්විත විශාලම ධාරිතාවය සහිත එකම සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාව බව.

ලෝකයේ අනෙකුත් අංශවල හමුදා විශාල වශයෙන් දේශපාලනයේ නියැලෙනවා. මේ බාධාවට ඔබ කොහොමද මුහුණ දෙන්නේ?

එක්තරා දුරකට දේශපාලනයේ නියැලීමේ ප්‍රවණතාවක් අතීතයේ මෙහි තිබුණා. යුද්ධය දේශපාලනයේ එක්තරා අංගයක් පමණයි. අප එය දන්නවා වගේම එය තේරුම් ගන්නවා. නමුත්, 2015 ආණ්ඩුව වෙනස්වීමත් සමඟ අපට ආඩම්බරයෙන් කිව හැකියි වර්තමානයේ අපි රාජකාරිය බලපෑමකින් තොරව කරගෙන යන බව. යුද හමුදාවේ හමුදාපති හැටියට මගේ ඇමතිවරයා, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ මම රාජකාරියේ නියැලෙන්නේ පීඩනයකින් නොවේ. එහි අර්ථය වන්නේ ආරක්ෂක අංශවල දේශපාලනයේ නියැලීම සීමා වී ඇති බව හා අවම වී ඇති බවයි.

2015දී ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනවාරියේදී ආරක්ෂක අංශවලට විශේෂයෙන්, යුද හමුදාවට චෝදනා එල්ල වුණා දේශපාලනයේ නියැලෙන බවට. එම වර්ෂයේම අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. ජනතාව කියනවා ආරක්ෂක අංශ සාමාජිකයින් බොහොමයක් ආණ්ඩුවට එරෙහිව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නා කියා. එහි තේරුම දේශපාලන පීඩනයක් තිබුණේ නෑ කියන එකයි. කවදාවත් අපි, අපේ සෙබළුන්ට ඡන්දය ගැන බලපෑම් කරන්නේ නෑ. ඔවුන්ට අවැසි කෙනාට ඡන්දය දෙන්න අපි ඉඩ හැරියා. කිහිප දෙනෙක් ඉන්න පුළුවන් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වී සිටින. ඔවුන්ට අයිතිය තිබෙනවා ඔවුන්ට ඕනා දේ කරන්න.

2016 යාපනය ආඥාපති වීමත් සමඟ දෙමළ සමාජයේ නැවත පදිංචිකිරීම් සිදුකිරීමට ඔබ යම් මෙහෙයක් කළා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ පැවසුවා හමුදාව ඉවත් වීමෙන් ජනතාව සියයට 85ක් ඉඩම්වල පදිංචි කරවූ බව. මේ සඳහා මෙතරම් කාලයක් ගත වුණේ ඇයි?

යුද්ධය අවසන් වුණාට පසුව, අපි 2020 හා 2025 යනුවෙන් අපගේ අධ්‍යයන මුල් කොටගත් සැලසුම් සකස් කළා. අපි දන්නවා කුමන ඉඩමද නිදහස් කළ යුත්තේ, ඒ කුමන කාලයේදී දැයි කියා. 2015ට පෙර හේතු ගණනාවක් තිබුණා, කුමක්ද සිදුවන්නේ කියා ජනතාවට විශ්වාසයක් නැති. නමුත්, මම ඒකයි කියන්නේ 2015න් පසුව ආරක්ෂක හමුදා ගත් තීරණ සම්බන්ධයෙන් දේශපාලනීකරණයක් හෝ පීඩනයක් නොමැති බව. අපි තේරුම් ගෙන තිබෙනවා උපාය මාර්ගිකව කොහේද නැවතිය යුත්තේ සහ ගැටලු සහගත තත්ත්වයන් මොනවාද කියා. අපි තීරණය කරනවා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කළ හැකි හොඳම දේ කුමක්දැයි, ඒ සඳහා නීත්‍යානුකූලව සුදුසුකම් ලැබූ ජනතාවට උපරිමය ලබා දීමටත්.

මම ඒ දිහා බලන්නේ මෙහෙමයි. අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාවක් සිටින රටක් මෙය. සිවිල් ජනතාව ලක්ෂ 3ක් පමණ අප සමඟ මානුෂීය මෙහෙයුමට එකතු වුණා. හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 13,169ක් යටත් වූවා. අභ්‍යන්තර අවතැන් ජනතා කඳවුරුවලින් මේ රට නිදහස් රටක් කිරීමයි අපේ අරමුණ. ඔවුන් තමන්ගේ රට තුළ අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාවක් විය යුතුම නැහැ.

නමුත්, ඔවුන්ට කඳවුරු තුළ හිඳීමට හේතු තිබෙනවා. එකක් ඔවුන්ට ඉඩම් නැහැ. දෙවනුව, සමහර සිද්ධි නිසා තෙවන පරම්පරාවට අයත් ජනතාව නැවත එහි නවතිනවා. මේ සම්බන්ධයෙන් අපි උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා ජනතාවට තේරුම් කරවන ලෙස 'මේ ඔබේ හමුදාවයි' යන්න. මේ සිංහල හමුදාවක් නොවේ, මේ ශ්‍රී ලංකා හමුදාවයි.

මේ වන විට සියයට 80ක් ඉඩම් නිදහස් කර අවසානයි. සියයට 2ක් කැණීම් කරනවා. අපට තුන් වර්ගයක බිම් බෝම්බ ඇටවූ බිම් තිබෙනවා. එකක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ස්ථාපිත කරනු ලැබූ ඒවා. අප ළඟ ඒ පිළිබඳ වාර්තා තිබෙනවා. දෙවැන්න, එල්ටීටීඊය ස්ථාපිත කළ ඒවා. තෙවැන්න ඉන්දියානු සාම සාධක හමුදාව ඇති කළ ඒවා. අප ළඟ ඒවා ගැන තොරතුරු නැහැ. මේ නිසා ඒවා අවසන් කිරීමට කාලය ගත වෙනවා. 2020දි එය අවසන් කිරීමයි අපේ අරමුණ.

ඉදිරි මාස හතර පහ තුළ අපි තවත් ඉඩම් යළි ලබා දෙනවා. ආරක්ෂක හමුදා මූලස්ථාන කර ගත් ඇතැම් පුද්ගලික ඉඩම් අපි මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ සම්මුතිය අපට මගහැර ඉන්නට බැහැ. ඒ හේතුව උඩ - භට පිරිස් ඇතැම් ප්‍රදේශවලට යොදවන්න වෙනවා. ඒවා අපි රාජ්‍යයට අයත් ඉඩම් හැටියට හුවමාරු කරනවා.

අපට අපගේ බලය භාවිත කිරීමට ඉල්ලා සිටිමින් මේ ගැන මම උතුරු පළාත් මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා. සමහරෙක් අපේ ක්‍රියාකාරීත්වය අවඥාවෙන් බැලුවත් බහුතරය අප පිළිගනීවි. මම අදහස් කළේ සාම්ප්‍රදායික නොවන තර්ජනත් ආරක්ෂාවට අදාළ වෙනවා.

ඒ මොනවාද?

උදාහරණ හැටියට මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නෙ සාම්ප්‍රදායික නොවන තර්ජනයක්. කේරළ ගංජා ජාවාරම් පිළිබඳ පුවත්පත් නිතර වාර්තා කරනවා. අසල්වැසි ඉන්දියානු රජය එය කරන්නේ නැහැ. නමුත්, ඒවා මෙහෙට එනවා. ඒවා බෙදා හරිනවා. ඉතිහාසයේ අපේ දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් අත්දැකීම් තිබූ අය නෙමේ. ඒකයි, ආරක්ෂක හමුදාවක් මෙහෙට උවමනා වෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය සුදුසු පරිදි ස්ථාවර වූ දවසට අපි වඩාත්ම සතුටු වෙනවා අපේ කඳවුරු තුළට ගොස් ක්‍රිකට් ගහන්නත් නැතිනම්, දකුණට එන්නටත්.

2015 මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පොරොන්දු වූ ආරක්ෂක ප්‍රතිසංස්කරණයන් සිදුවෙලාද?

මම යුද හමුදාවට බැඳෙන විට සංඛ්‍යාත්මකව සිටියේ 10,000ක් පමණයි. නමුත්, යුද්ධය අවසන් වෙද්දී දෙලක්ෂ තිස්හයදහසක් සිටියා. දැන් එය 50,000කින් පමණ අඩු වී තිබෙනවා.

පාකිස්තානය හා චීනය අතර මිලිටරි සහයෝගිතාව ගැන ඔබේ අදහස කුමක්ද? අනෙක් සම්බන්ධතාවලට අවතීර්ණ වීමේදි කුමන හෝ අවිනිශ්චිතභාවයන් හෝ අභියෝගයන් ඔබ හඳුනා ගත්තාද?

ඓතිහාසිකව, ශ්‍රී ලංකාව කිසිදු කඳවුරකට නොබැඳුන රටක් වශයෙනුයි පවතින්නේ. අපේ සියලු අසල්වාසීන්ට වටිනාකමක් දීමට අපි අපක්ෂපාතීයි. අපේ විශාලම හා හොඳම මිතුරා වන්නේ ඉන්දියාවයි. පසුගියදා අවසන් වුණ ඉන්දීය යුද හමුදා ප්‍රධානියාගේ සංචාරය දෙස අපි බලා සිටියා. මේ කලාපයේ යුද හමුදා ප්‍රධානීන් එහා මෙහා යෑම සාමාන්‍යයි. පාකිස්තාන යුද හමුදා ප්‍රධානියා මෙහි පැමිණියා. මම පාකිස්තානයට ගියා. මාර්තු මාසයේ ඉන්දියාවට ගියා. මගේ ශාස්ත්‍රාලයට යළි යන්න මම බලා හිඳිනවා. මම මගේ සිවිල් ඉන්ජිනේරු උපාධිය කළේ පූනෛවල. ශ්‍රී ලංකා යුද හමුදාවේ බොහෝ දෙනා පුහුණු වූයේ ඉන්දියාවේදියි. අපට ඉන්දියාව, පකිස්තානය, චීනය සහ ඇමරිකාව සමඟ අභ්‍යාස තිබෙනවා. මෙය කිසිදු කඳවුරකට බැඳීමක් නොවේ. මම හිතනවා ආර්ථිකමය හා හමුදාමය වශයෙන් සාර්ක් සමුළුව සඳහා හොඳ ශක්තියක් අපට තිබෙනවා කියා. මන්ද අපි නොබැඳි හමුදාවක් නිසා.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?