ධීවර වර්ජනය අස්සේ හලාවතට ජපානයෙන් මාළු

 ඡායාරූපය:

ධීවර වර්ජනය අස්සේ හලාවතට ජපානයෙන් මාළු

හලාවත මාළු වෙළෙඳපොළේ මේ දිනවල ජපානයෙන් ගෙන්වන ලද බව සඳහන් මාළු වර්ගයක් බහුලව දක්නට ලැබේ. කිලෝ දහය, පහළොව ප්‍රමාණයේ පෙට්ටි තුළ මේ මසුන් බහා තිබේ. මාස කිහිපයක් මේ මසුන් කල් තබා ගත හැකි බව මේ පෙට්ටවල සලකුණු කොට තිබෙන අතර, නිෂ්පාදිත රට ජපානය ලෙසටද එහි පැහැදිලිව සඳහන් වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී හලාවත ධීවර දිස්ත්‍රික්කයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ධීවර වර්ජන අතරතුර ජපානයෙන් හලාවත මාළු වෙළෙඳපොළට මාළු ගෙන ඒම තරයේ හෙළා දකින බවයි. මෙලෙස පිටරටින් මාළු ගෙන්වීම පිළිබඳ ධීවර අමාත්‍යවරයා දැනුවත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

හලාවත ප්‍රධාන මාළු වෙළෙඳපොළේ පසුගිය දෙදින තුළ තිබූ ‘ලින්නා’ වර්ගයට අයත් මේ මාළු කිලෝවක් රුපියල් දෙසීයත්, දෙසිය පනහත් අතර මිලකට අලෙවි වූ බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඊට අදාළ විමර්ශනයක් ආරම්භ කරන බවත්ය.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා

ජනප්‍රිය ලිපි