ඉන්දියාවේ ඉපදුණා නම් අපේ කලාකරුවෝත් කෝටිපතියෝ

 ඡායාරූපය:

ඉන්දියාවේ ඉපදුණා නම් අපේ කලාකරුවෝත් කෝටිපතියෝ

උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය

විජයදාස රාජපක්ෂ

කලා ක්ෂේත්‍රය පවත්වාගෙන යන කලාකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් අක්මුල් සිඳගත් පිරිසක් බවට වත්මන් සමාජය පත්වන බවත් මෙරට කලාකරුවන්ගේ හැකියාවන් ඉන්දියාව වැනි රටක පෙන්වීමට හැකිනම් කලාකරුවන් කෝටිපතිවරුන් බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ පසුගියදා (15) පැවති උත්සවයකදී පැවසීය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භක සාමාන්‍යාධිකාරි ආචාර්ය ඩි.බී. නිහාල්සිංහ මහතාගේ ජායාරුපය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම ශාලාවේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඊට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු විය. මෙහිදී කලාකරුවන් 163 දෙනෙකුට රු.5000 බැගින් දීමනාවක්ද පිරිනැමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"චිත්‍රපට සංස්ථාව මට එතරම් අලුත් දෙයක් නෙවෙයි. ප්‍රවීණ සිනමාකරුවෙකු වන තිස්ස අබේසේකර මහතා මේ සංස්ථාවේ සභාපති ධුරය දැරූ කාලයේ දී මමත් වසර පහක් පමණ මෙහි අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළා. ඒ නිසා මේ ආයතනය පිළිබඳව මට යම් අත්දැකීම් තිබෙන නිසා මේ ආයතනය දැනට මුහුණ දී තිබෙන ගැටලුවලින් එය ආරක්ෂාකර ගැනීමට අලුත් වැඩපිළිවෙලක් ඇතිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජනාධිපතිතුමා පසුගිය මාස කිහිපයේදී උත්සාහයක් දැරුවා. ඒ සඳහා කමිටුවක් පත්කර වාර්තාවක් පවා ලබාගත්තා. එම වාර්තාව දැනට මා අතට පත්වී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම මාගේ වගකීමක් කොට සලකනවා.

අපරදිග ලෝකයේ කියමනක් තියෙනවා කලාකරුවෝ කියන්නේ ජාතියක පෙරගමන්කරුවෝ කියලා. රටක් කරවන පාලකයන් යා යුතු මග ඒ පාලකයන්ට කලින් තීරණය කිරීමේ, අනුමාන කිරීමේ හැකියාවක් දක්ෂතාවයක් ඔවුන්ට තිබෙනවා. රටක නිල නොලත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ ලෙස හඳුන්වන්නේ ඒ රටේ කලාකාරයෝයි. මහා ගත්කරු විලියම් ශේක්ෂ්පියර්ගේ “වැනිසියේ වෙළෙන්දා” නාට්‍යය තුළින් එදා ඒ රටේ නොතිබුණු දෙයක් ඔහු දැක්කා. ඒ රටවල පාලකයන්ට නොතිබුණු මනුෂ්‍යත්වයේ වටිනාකම කලාකරුවා හඳුනා ගත්තා. ඒ නාට්‍යයේ සඳහන් වන අමානුෂික නීතිය ලෝකයේ රටක ක්‍රියාත්මක වෙනවා නම් ඒ මිනිස්සු ශිෂ්ට සම්පන්න අයද කියලා අද වගේ කාලයක නම් ප්‍රශ්න කරනවා.

ශේක්ෂ්පියර් ඒ නාට්‍යයෙන් දුන් පණිවුඩය එදා ලෝකයේ රටවල්වල සිටි පාලකයන්ගේ ඇස් ඇරෙව්වා. ඒ නිසාම මහා බ්‍රිතාන්‍යයේ දණ්ඩ නීති සංග්‍රහයට අලුතෙන් වගන්තියක් ඇතුළත් කළා. ඒ තමයි " කෙනෙකුගේ කැමැත්තෙන් වුණත් ඔහුගේ ශරීරයට කිසිවෙකු හිංසාවක් පිඩාවක් කළොත් එය දඬුවම් ලැබිය යුතු වරදක්" සාපරාධි අපරාධයක් කියන නීතිය නීති පොතට ඇතුළත් කළේ ඒ මහා කලාකරුවායි.

එම නීතිය පසුකාලයේ දී ඉන්දියාවෙත්, අපේ රටෙත් නීති පොත්වලට ඇතුළත් වුණා. කලාකරුවෝ අයිති රටටයි. මේ රටේ ජීවත්වන සියලු පුරවැසියන්ට කලාකරුවෝ අයිතියි. ඊට හේතුව අපේකම, අපේ අනන්‍යතාවය අපේ සංස්කෘතියයි. අපේ මානව ගුණධර්ම ආරක්ෂා කරන කණ්ඩායමක් තමයි කලාකරුවෝ.

කලාව ආරක්ෂා කිරීම අපේ රාජ්‍ය ප්‍රතිපත්තියයි. කලින් කලට අඩුවැඩි වෙමින් ගමන් කළ ඒ ප්‍රතිපත්තිය ඉතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මඟ පෙන්වා තිබෙනවා. මේ ක්ෂේත්‍රය පවත්වාගෙන යන කලාකරුවන් ආරක්ෂා කළේ නැතිනම් අපි අක්මුල් සිඳගත් පිරිසක් බවට පත්වෙනවා.

දලයි ලාමාතුමා කියලා තිබෙනවා අපට අපේ මුතුන් මිත්තන්ගෙන් කිසිවක් උරුම වී නැත, එහෙත් අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා සම්පත් සහ සංස්කෘතියක් අපට භාර කොට ඇත, කියලා. ඒ භාරය තමයි අපි ඉටුකරමින් ඉන්නේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය චිත්‍රපට සංස්ථාව පිහිටුවූයේ සිංහල සිනමා ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමටයි. නමුත් අපේ රටේ ක්‍රියාත්මක වුණ ප්‍රතිපත්තිය මත චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය පසුකලකදී වෙනස් වුණා. ප්‍රතිවිරුද්ධ දිශාවකට ගමන් කිරීමට ගත්තා. විවෘත ආර්ථිකය සමඟ මේ පවතින ක්‍රමය තුළ චිත්‍රපට සංස්ථාවේ ප්‍රතිපත්ති පිළිබඳ වෙනසක් කිරීමට සිදු වෙනවා.

චිත්‍රපට සංස්ථාව අරඹන විට එය වැඩි වශයෙන් අවධානය යොමු කළේ මේ ක්ෂේත්‍රය පාලනය කිරීමටයි. අද මම විශ්වාස කරන්නේ මේ ආයතනය ඒ සංකල්පයෙන් ඔබ්බට ගිහින් සිනමා කලාව සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඉදිරියට යාමයි.

අපේ රටේ කලාකරුවෝ ආර්ථික අතින් සතුටුදායක තැනක නොවෙයි ඉන්නේ. මේ කලාකරුවෝ ඉන්දියාවේ ඉපදුණා නම් අද කෝටිපතියෝ. නමුත් අපේ රට දුප්පත් රාජ්‍යයක් ලෙස අපට සිටින්නේ කුඩා ප්‍රේක්ෂකාගාරයක්. කලා ක්ෂේත්‍රයේ පසුබෑමට තවත් කරුණක් ලෙස අධ්‍යාපනය මගින් රටට දායාද කරන තරුණ පරපුරට කලාව වින්දනය කිරීම සඳහා දියුණු මානසිකත්වයක් අප බලාපොරොත්තු වන මට්ටමින් නැතිවීමත් බලපානවා.

[අසේල ලියනගේ]

මාතෘකා

ජනප්‍රිය ලිපි