අල්ලස් කොමිසමේ ඇගයීමේ ක්‍රමවේදයක් නෑ

 ඡායාරූපය:

අල්ලස් කොමිසමේ ඇගයීමේ ක්‍රමවේදයක් නෑ

විමර්ශන නිලධාරීන් කොමිසම හැරයෑමේ සූදානමක!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඇගයීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා ඔවුහු දැඩි කලකිරීමට පත්ව සිටිති.

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පවතින දීමනා ලබාදීමේ ක්‍රමය කොමිසමේ රාජකාරිවලට අදාළවද ක්‍රියාත්මක කරන ලෙස කළ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා නිලධාරීන් පිරිසක් කොමිසමේ රාජකාරිවලින් ඉවත්වීමට සූදානම් වන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද පසුගිය මාස කිහිපයේදී කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, එම රාජකාරි සඳහා කිසිදු දීමනාවක් ලබා දී නැත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ මෙතෙක් කොමිසම තුළ එවැනි දිරි දීමනා ලබාදීමේ ඇගයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නැති බවයි. එය බරපතළ කරුණක් බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙවැනි කටයුතුවලට මුදල් අමාත්‍යංශයෙන් මුදල් වෙන් කර ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවද පැවසීය. කෙසේ වෙතත් මේ වන විට එවැනි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කොට ඇති බවත්, නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමේ ප්‍රතිඵලයක් ලෙස ළඟදීම එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[ශාලික විමලසේන]

 

මාතෘකා

ජනප්‍රිය ලිපි