මාරවිල රජයේ රෝහලේ අක්ෂි රෝගීන් 900ක් පෝළිමේ

 ඡායාරූපය:

මාරවිල රජයේ රෝහලේ අක්ෂි රෝගීන් 900ක් පෝළිමේ

මාරවිල රජයේ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීම පසුගිය වසරේ අගෝස්තුවේ සිට නැවතී තිබීම හේතුවෙන් තමන් බලවත් අපහසුතාවකට පත්ව සිටින බව රෝගීහු පවසති.

මේ හේතුවෙන් ඇසේ සුද ඉවත් කර ගැනීම සහ වෙනත් අක්ෂි ශල්‍යකර්ම සිදු කර ගැනීමට අපේක්ෂාවෙන් රෝගීන් 900කට වැඩි පිරිසකට පොරොත්තු ලේඛනගතව සිටින බවද ඔවුහු සඳහන් කරති. වසරකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම පමණක් 800 ඉක්මවා සිදු කළ එම අක්ෂි ශල්‍ය ඒකකය මගින් පසුගිය වසරේ සිදු කොට තිබෙන්නේ ශල්‍යකර්ම 70ක් පමණි.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ උසස් නිලධාරියකුගෙන් විමසා සිටි විට හෙතෙම කියා සිටියේ අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීමේදී අවශ්‍ය වන operation microscope නමැති උපකරණවල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි. ඒ සම්බන්ධයෙන් කලක් තිස්සේම ප්‍රාදේශීය සහ පළාත් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් අවශ්‍යතාව ඉටු වී නැතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසා සිටි විට හෙතෙම කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවය.

[නුවන් මහේෂ් ]

මාතෘකා