බස් වර්ජනය අත්හරී!

 ඡායාරූපය:

බස් වර්ජනය අත්හරී!

පෞද්ගලික බස් රථ සංගම් මගින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු අත්හැර දැමීමට බස් සංගම් තීරණය කරන ලදි.

මේ සම්බන්ධයෙන් ‘රැස’ට අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු සියයට 12.5කින් වැඩි කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟතාව පළ කළ නිසා වර්ජනය අත්හැර දැමූ බවයි. තම සංගමය බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දමන ලෙස ඉල්ලූ බවත්, ඇතැම් බස් සංගම් සියයට 15කින් බස් ගාස්තුව ඉහළ දමන ලෙස ඉල්ලූ බවත් පැවසූ සභාපතිවරයා, සාකච්ඡා අතරතුරදී දෙපාර්ශ්වය මධ්‍යස්ථ අගයකට එකඟ වූ බවද සඳහන් කළේය.

එසේම අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 12 දක්වා ඉහළ දැමීමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ. පෙරේදා (15) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණේ සියයට 6.5කින් බස් ගාස්තුව ඉහළ දැමීමටය.

[එස්. ලොකුකරවිට]

මාතෘකා