තෙල් මිල වැඩි වෙද්දී - නියෝග නොතකා බවුසර් 180ක් හොරෙන් පිටකරයි!

 ඡායාරූපය:

තෙල් මිල වැඩි වෙද්දී - නියෝග නොතකා බවුසර් 180ක් හොරෙන් පිටකරයි!

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ කොළොන්නාව තෙල් නිමා පර්යන්තයේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊයේ (14) ‘රැස’ කළ විමසීමකදී ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

පසුගිය මැයි 09 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මැයි 10 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට රජය තීරණය කළ අතර එම තීරණය එදින (මැයි 10) රාත්‍රී 8.00න් පසුව නිවේදනය කිරීමට සූදානම් කර තිබුණි. නමුත් මැයි 10 වෙනිදා දහවල් පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එය ප්‍රකාශයට පත් වූ නිසා, ඉන්ධන ඇණවුම් ලබා නොගන්නා ලෙස විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළොන්නාව තෙල් නිමාවේ බෙදාහැරීමේ අංශයට දැනුම් දී තිබේ.

නමුත් එම නියෝගය නොතකා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ බෙදාහැරීමේ අංශය විසින් එදින මධ්‍යම රාත්‍රිෙයන් පසුව ලැබුණු තොග බවුසර් 180ක්

(ලීටර් 6,600) වංචනික ලෙස පිට කර තිබීම හේතුවෙන් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයට එක් බවුසරයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ අලාභ වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඔවුන්ටද තොරතුරු ලැබී ඇති අතර රටේ තෙල් හිඟයක් පාලනය කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාවක් කළේ නම් එය වරදක් නොවන බවයි.

“තෙල් හිඟයක් ඇති වීම වළක්වන්න සද්භාවයෙන් මේ දේ කළා නම් කමක් නැහැ. නමුත් අනවශ්‍ය ලාභ ලැබීමේ අරමුණින් පවුලේ හිතවතුන් වැනි පිරිසට තෙල් බවුසර් මුදා හැර ඇත්නම් එය වරදක්. මේ සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරනවා.”

නමුත් මීට තෙල් මිල ඉහළ යෑමට පෙර දින හෝ දින කිහිපයකට පෙර ඇණවුම් කළ තොග පිට කිරීමට හැකියාවක් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. එසේම ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ තෙල් මිල වැඩි වෙන බව දැන දැනම පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් එදිනම මුදල් ඇණවුම් ගෙන තෙල් නිකුත් කර ඇති බවයි. එසේ කිරීම නීති විරෝධී බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

[දිනුක මලින්ද ]

මාතෘකා