අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67කින් සම්මතයි

 ඡායාරූපය:

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67කින් සම්මතයි

මහා පරිමාණ දූෂණ චෝදනා විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට ප්‍රතිපාදන සැලසෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) සම්මත කෙරිණි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක්ද, විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි. රජය ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගිය දිනවලදී වෙන්ව විපක්ෂයේ අසුන් ගත් කිහිප දෙනෙක්ද පනත් කෙටුම්පතට විරුද්ධය ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් හෙවත් බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂය ඉල්ලා සිටීම හේතුවෙන් කතානායක කරූ ජයසූරිය මහතා ඡන්ද විමසීමේ සිනුව නාද කිරීමට පියවර ගත්තේය.

ඡන්ද විමසීම විද්‍ය ුත් ඡන්ද ක්‍රමය යටතේ සිදුවිය. මෙම පනත් කෙටුම්පතට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය යන පනත් කෙටුම්පත්ද විවාදයට ලක් කළේය.

සොරකම, දේපොළ වංක පරිහරණය , සොරකම් කළ දේපොළ සඟවා තැබීමට සහය වීම, කූඨ ලේඛණ සෑදීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු , පොදු දේපොළ සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් වන නඩු මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග කිරීමට බලය ලැබෙන බව අදාළ පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවන් තිදෙනෙකු පත් කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක හෝ නැවක හෝ ගුවන් යානයක ශ්‍රී ලංකාවේ පුරවැසියකු පුරවැසියකු විසින් සිදුකරන වැරදිවලට අදාළ නඩුද මෙම අධිකරණයේදි විභාග කෙරේ.

මාතෘකා