අල්ලස් නඩු විසඳන්න ත්‍රිපුද්ගල අධිකරණයක්

 ඡායාරූපය:

අල්ලස් නඩු විසඳන්න ත්‍රිපුද්ගල අධිකරණයක්

අල්ලස් සහ දූෂණ නඩු විසඳීම සඳහා විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එම කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් සහ දූෂණ නඩු විසඳීම ප්‍රමාද වීම නිසා අල්ලස් වැරදි සිදුකිරීමට නිලධාරීන් පෙළඹෙන බවත්, අදාළ නඩු කල් යෑමෙන් පසු අයාලේ යන තත්ත්වයක් මතු වී ඇති නිසා ඒවායින් නිදහස් විය හැකිය යන මතය සමාජගත වී ඇති බවත් පෙන්වා දෙන එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා, එම නිසා මෙවැනි අධිකරණයක් පිහිටුවීම ඉතා වැදගත් තීරණයක් බවද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ අල්ලස් නඩුවලට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට කොමිසම කටයුතු කළද, එම නඩු කල්යෑම බරපතළ තත්ත්වයක් වී ඇති බවයි. මේ නිසා ඒ සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීම අගය කළ යුතු ක්‍රියාවක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.
මේ අතර පෞද්ගලික අංශයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන්ද කොමිසමට බලය ලැබෙන පරිදි නීති සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එවැනි තත්ත්වයක් යටතේ අල්ලස් නඩු වැඩි වීම වැළැක්විය නොහැකි වන බවත් මීට පෙර කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබිණි.

මාතෘකා