ජනපති-අගමැති එකඟතාවට පිටින් නාගරික සංවර්ධන අධිකාරියෙන් අල්ලස් කොමිසමට කෙනෙහිලි

 ඡායාරූපය:

ජනපති-අගමැති එකඟතාවට පිටින් නාගරික සංවර්ධන අධිකාරියෙන් අල්ලස් කොමිසමට කෙනෙහිලි

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය ලැබී තිබියදී නාගරික සංවර්ධන අධිකාරියේ විරෝධය නිසා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉඩමක් ලබාගැනීම වසර දෙකක් තිස්සේ ගැටලුවක් වී තිබේ.
දැනට එම කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන කොළඹ 07, මලලසේකර මාවතේ, අංක 36 දරන පර්චස් 100ක භූමිය සමීපයේම පිහිටි පර්චස් 60ක භූමියක් මේ සඳහා වෙන්කර දෙන ලෙස කොමිෂන් සභාව මගින් ඉල්ලා ඇත. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ස්ථාපිත කර ඇති ජාතික ආර්ථික කමිටුව මගින්ද මේ පර්චස් 160ක සමස්ත භූමිය අල්ලස් කොමිසමට ලබාදිය යුතු බවට වසර දෙකකට පෙර නිර්දේශ කර තිබේ. එසේ තිබියදී මේ භූමියේ අදාළ කොමිෂන් සභා ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය ලබාදිය නොහැකි බව නාගරික සංවර්ධන අධිකාරියෙන් දන්වා ඇත. ඒ සඳහා අවශ්‍ය නම් කෝට්ටේ ප්‍රදේශයේ භූමියක් ලබාදිය හැකි බවද නාගරික සංවර්ධන අධිකාරිය මගින් අල්ලස් කොමිසමේ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ රාජ්‍ය ආයතනයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය අල්ලස් කොමිසම වැනි වැදගත් ස්ථානයක් පිළිබඳ මෙවැනි ස්ථාවරයක් පළ කිරීම කනගාටුවට කරුණක් බවයි.

 

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දිනපතා අධිකරණ කටයුතුවලට යෑමට සිදුවන බවත්, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සමීප සම්බන්ධතා පවත්වාගැනීමට සිදු වන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොළඹින් පිටත කෝට්ටේ හෝ බත්තරමුල්ල වැනි ප්‍රදේශයක සිට කාර්යක්ෂමව එම කටයුතු කිරීම දුෂ්කර කාර්යයක් බවද අවධාරණය කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම අගමැතිවරයාගේ පාර්ශ්වයෙන්ද මේ භූමිය සිය කොමිසමට ලබාදීමට එකඟතාව පළ කර තිබියදී, නාගරික සංවර්ධන අධිකාරිය මෙසේ දැඩි ප්‍රතිපත්තියක සිටීම පිළිබඳ ගැටලුවක් ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මතු කරන මේ ගැටලුව සම්බන්ධයෙන් අපි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ආචාර්ය ජගත් මුණසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී සභාපතිවරයා පැවසුවේ අදාළ භූමිය කොමිසමට ලබාදීමේ කිසිදු ගැටලුවක් නැතත්, එහි ගොඩනැගිලි ඉදිකිරීම සහ කාර්යාල පවත්වාගෙන යෑම සිදුවිය යුත්තේ කොළඹ නගර සංවර්ධන සැලැස්මට අනුව බවය. 2008දී මේ සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එයට අනුව කොළඹ 07, මලලසේකර මාවත ආසන්න ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ රජයේ කාර්යාල පවත්වාගෙන යා නොහැකිය. එය හරිත ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත්, ඊට බාධා එල්ල වන ආකාරයේ ඉදිකිරීම් කිරීමට අනුමැතිය දිය නොහැකි බවත් පැවසූ සභාපතිවරයා, අල්ලස් කොමිසමේ අත්‍යවශ්‍ය සේවා පමණක් මලලසේකර මාවතේ පවත්වාගෙන යන ලෙසටත්, අනෙකුත් කොටස් කෝට්ටේ ප්‍රදේශයට රැගෙන යන ලෙසටත් විකල්පයක්ද තමන් ඉදිරිපත් කළ බව වැඩිදුරටත් සඳහන් කළේය. 2008 දී සකස් කරන ලද අදාළ සංවර්ධන සැලැස්ම 2019 වසරේදී වෙනස් වන තත්ත්වයන්ට අනුකූල වන පරිදි සකස් කරන බවත්, ඒ යටතේ මේ කලාපය විශේෂ නේවාසික සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මාතෘකා