හිටපු ලුතිනන් කමාන්ඩර්ට යළි විවෘත වරෙන්තු

 ඡායාරූපය:

හිටපු ලුතිනන් කමාන්ඩර්ට යළි විවෘත වරෙන්තු

2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමූදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එය ජාත්‍යන්තර පොලිසිය වෙත යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස අද (22) නියෝග කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අධිතරණයට ඉදිරිපත් කළ රක්ෂිත භාරයේ සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්දි අරුණ තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන අප්‍රේල් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත් වරිය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන අප්‍රේල් මස 02 දා ප්‍රකාශයක් ලබා දෙන ලෙස නාවික හමූදාවේ සේවයේ නියුතු රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට මහේස්ත්‍රාත් වරිය නියෝග කළා.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය යටතේ සිටි නිලධාරින් සම්බන්ධ නාම ලේඛනය මේ වනතෙක් නාවික හමුදාව ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර එම හේතුවෙන් සිද්ධියට අදාළව අතිරේක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද දැනුම් දුන්නේය.

මෙතෙක් සිදු කළ සියලු විමර්ශන වල උදෘත නිතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙසත් යොමු අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත් වරිය රහස් පොලිසියට නියෝග කළාය. සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මේ සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ , නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස ,රාජපක්ස පතිරනලාගේ කිත්සිරි,සම්පත් මුණසිංහ යන සැකකරුවන් ඇප මත සිටි.

කොටහේන වැල්ලවත්ත,ත්‍රිකුණාමලය,මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්,රජිව් නාගනාදන්,ප්‍රදීප් විශ්වනාදන්,තිලගේෂ්වරන් රාමලිංගම්,මොහොමඩ් සාජිත්,ජමාල්ඩීන් ඩිලාන් ,අමනන් ලියෝන්,රොෂාන් ලියෝන්,ඇන්තනි කස්තුරිආරච්චි,ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන පුද්ගලයින් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන සිදු කරයි.

[සුභාෂිණී සේනානායක]

මාතෘකා