නුවර අපරාධවලට මන්ත්‍රීවරු තුනක් අත්අඩංගුවට

 ඡායාරූපය:

නුවර අපරාධවලට මන්ත්‍රීවරු තුනක් අත්අඩංගුවට

මහනුවර සහ දිගන ඇති වූ අපරාධවලට සම්බන්ධ බවට සැකපිට මන්ත්‍රීවරු තිදෙනෙක් ඇතු‍ළු පුද්ගලයන් 314 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සිංහල ජාතිකයන් 264 දෙනෙකු, මුස්ලිම් ජාතිකයන් 41 දෙනෙකු සහ වෙනත් ජාතීන්ට අයත් පුද්ගලයන් 9 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් පුද්ගලයන් 105 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන්නන් බවත්, සෙසු පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලින් සංවිධානාත්මකව පැමිණි පිරිස් බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් අය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තිදෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් දෙදෙනෙකු සිටින බවයි. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු සහ ඔහුගේ ලේකම්වරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් යන බවද ඇමතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය වැපිරූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයින් අතුරින් හතර දෙනෙකු පාසැල් සිසුන් බවයි. එසේම මෙම සිදුවීමේදී පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද හෙතෙම පැවසීය.