අත්වැල් පවුර සවිමත් කළ ජනපතිගේ ඉන්දීය සංචාරය

 ඡායාරූපය:

අත්වැල් පවුර සවිමත් කළ ජනපතිගේ ඉන්දීය සංචාරය

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල සහභාගි වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ආරාධනයක් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා කටයුතු කර තිබිණි.
2015 නොවැම්බර් 30 වන දින පැරිසියේදී පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව සඳහා පදනම සකස් වූ අතර ඊට සූර්ය බල ප්‍රභවයන්ගෙන් පොහොසත් රටවල් 121ක් ඇතුළත් වේ. ඒ සඳහා අනුගත වූ ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබීමත් මෙම විශේෂ ආරාධනයට හේතු විය.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සමුළුවට රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500ක් පමණ එකව තිබීම නිසා නවදිල්ලි අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණ.  
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා(10 දා) ඉන්දියාවට ලඟා වූ අතර එතුමා මහත් හරසරින් පිළිගැනීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුවිගන්ෂාම් මහත්මිය කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත්සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.
එදින රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපතිවරයාට ඉන්දීය ජනාධිපති නිල නිවසට පැමිණෙන ලෙස ආරාධාන ලැබි තිබිණ. ඒ අනුව දහ වනදා (10) පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ්ගේ නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන් හි දී ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුව පැවැත්විණි.  
මෙහිදී සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිවී ඇති බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාව මේ වනවිටත් සූර්යබල ශක්තියට අනුගතව සිටීම සම්බන්ධයෙන් ඉන්දීය ජනපතිවරයා විමතියට පත් විය. එමෙන්ම පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන ඇති පියවර මෙහිදී අගය කිරීමට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අමතක නොකළේය.
මුළු මහත් ලෝකයම බලශක්ති අර්බුදයකට සහ ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ මෙවැනි සමුළු පැවැත්වීම ඉතාමත් කාලෝචිත බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ හමුවේදී සඳහන් කළේය. වසර තිහක යුදමය කාලසීමාවේ දී සහ ඉන්පසුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලදීත් නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග හා සංස්කෘතික කටයුතුවලදිත් ලබාදුන් සහයට ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමටත් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටත් පුළුල් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව මෙහිදී පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ විවිධ කලහකාරී තත්ත්වයන් ඇති කරමින් සංහිඳියාව පලුදු කිරීමට කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් සඳහන් කළේය. කෙසේ නමුත් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති බව ද ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේය. ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගත් ඉන්දීය ජනපති නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව ද සඳහන් කළේය.
පසුදින ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා රාෂ්ට්‍රපතිභවන් වෙත සම්ප්‍රාප්ත වූවේය. මෙහිදී සමාරම්භක සමුළුවේ දේශනයක් පැවැත්වීමට ජනාධිපතිතුවරයාට ආරාධනා කර තිබිණි.
මෙහිදී සභාව ඇමතූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව, නිල්වන් පවිත‍්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනෙුවන් ප්‍රබල පිටුවහලක් ලබාදෙන බව සඳහන් කළේය.  
සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති බවත්, ඊට පූර්ව සූදානමක් ලෙස සූර්ය බල සංග්‍රාමය නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වනවිටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්ය.  මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වනවිට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකිවනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට උපයෝජනය සඳහා මෙගාවොට් 1-10 දක්වා වූ ධාරිතාවයකින් යුතු සූර්ය බලාගාර පිහිටුවීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද සඳහන් කළේය.  
මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකාව නොමදව කැපවන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම සමුළුව සඳහා ලබාදෙන නායකත්වය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දීය අග්‍රමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කරන්නටද කටයුතු කළේය.
සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් රාෂ්ට්‍රපතිභවන්හි දි පැවැත්විණි.
සූර්ය බලශක්ති සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය මහත් ගෞරවයක් බව සඳහන් කළ ඉන්දීය අග්‍රමාත්‍යවරයා, ජාත්‍යන්තර සූර්ය බල සමුළුවෙහි පණිවුඩය මුළු ලෝකයට රැගෙන යාමට එක්ව කටයුතු කිරීමට සහය දක්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා වඩ වඩාත් ශක්තිමත් වූ බව සිහිපත් කළ ඉන්දීය අග්‍රමාත්‍යවරයා, ඉදිරියේදී මෙම සබඳතා ආර්ථික වශයෙන් ද ශක්තිමත් කිරීම වැදගත් බව පෙන්වා දුන්නේය.
මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර හමුවක් ද පැවැත්විණි.එහිදී පරිසර සංරක්ෂණය, දේශගුණ හා කාලගුණ විපර්යාස, සමුද්‍ර දූෂණය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ශ්‍රී ලංකාව තුළ 28% දක්වා පහත බැස ඇති වන ගණත්වය 32% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ පෙන්වා දුන් ජනාධිපතිවරයා, වනාන්තර වල ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, සෑම දෙසතියකට වරක් ගුවන් හමුදාව මගින් ඒ සම්බන්ධ වන වාර්තාව තමා වෙත ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.
සමුද්‍ර දූෂණය බරපතළ ගැටලූවක් බවට පත්ව ඇති පසුබිමක ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් වැලි ගොඩ දැමීම, පස් කැපීම හේතුවෙන් වන පාරසරික ගැටලූ පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා තාක්ෂණික විකල්ප හා යෝජනා අප රටට හදුන්වා දෙන ලෙසට ද එරික් සොල්හයිම් මහතාගෙන් ඉල්ලීමක් කළේය. නොර්වේ රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර පැවති සමීප සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරිණි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එරික් සොල්හයිම් මහතා ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.
මෙම ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව ජපාන අගමැති  ෂින්සෝ අබේ මහතාගේ විශේෂ ආරාධනයක් මත නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානය බලා ඊයේ (12 දා) පිටත්ව ගියේය.

මාතෘකා