මහනුවර සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

 ඡායාරූපය:

මහනුවර සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණි.  මීට අමතරව 81 දෙනෙකු පසුගිය 4 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.  

මේ සියලු සිද්ධිවලට පාදක වූ අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ ලෙසද, ඔහුගේ ප්‍රධාන සහායක සුරේන්ද්‍ර සුරවීර ලෙසද හඳුනාගෙන ඇති අතර ඔවුන්ද ඇතුළුව සැකකරුවන් 10 දෙනකු ඊයේ අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පූජාපිටිය සහ දිගන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා හෙළි කළේය. ඉන් දෙදෙනකු හැර සෙසු සියල්ලන් පිටස්තරින් එම ප්‍රදේශවලට පැමිණ මේ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.  

එම කාලය තුළදී සිදු වූ ජීවිත සහ දේපොළ හානි පිළිබඳ විස්තර කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මාර්තු 5 වැනිදා පල්ලෙකැලේ පොලිස් වසමේ කෙන්ගල්ලදී වෙළෙඳසැලක් හා ඊට යාබද නිවෙසකට කලහකාරීන් ගිනි තැබීම හේතුවෙන් ඊට මැදි වූ පුද්ගල‍යෙකු දුම ආඝ්‍රාණය වීමෙන් මියගොස් ඇති බවයි. එහෙත් එ් සිද්ධිය සාපරාධී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සලකා විමර්ශන කටයුතු පවත්වන බවද ඔහු පැවසීය. එසේම පසුගිය 6 වැනිදා පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගමදී ප්‍රචණ්ඩකාරී පිරිසක් සතුව තිබූ බවට සැකකෙරෙන අත්බෝම්බයක් පුපුරායෑමෙන් එම ස්ථානයේ සිටි 28 හැවිරිදි තරුණයකු මියගොස් තවත්11 දෙනකු තුවාල ලබා තිබෙන බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පොලිසිය විසින් පසුව එම බෝම්බයේ ආරක්ෂිත ඇණය සොයාගෙන තිබෙන බවය.  

ඊට අමතරව දේපොළ හානි කිරීමේ සිද්ධි 45ක් පොලිසියට වාර්තා වී ඇතැයිද කී හෙතෙම, ඒවා කටුගස්තොට, රංගල, මැණික්හින්න, මහනුවර සහ පූජාපිටිය පොලිස් වසම්වලින් වාර්තා වන බවත්, වාහනවලට අලාභහානි කිරීම් 11 ක්ද වාර්තා වන බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවා රංගල, මැණික්හින්න, පල්ලෙකැලේ සහ තෙල්දෙනිය යන පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද කියා සිටියේය. ඒ හැරෙන්නට ඊයේ උදෑසන කුරුවිට ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදීමට පැමිණි සැකකරුවන් තිදෙනකුද පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවත්, ඉන් එක් අයෙකු හැරෙන්නට අනෙක් දෙදෙනා කරන්දෙණිය සහ මීරිගම ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම පිරිස කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනවල සේවය කළ පිරිසක් බව හෙළිවී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  

මාතෘකා