දිගන ආරක්ෂාව තහවුරුයි

 ඡායාරූපය:

දිගන ආරක්ෂාව තහවුරුයි

කලහකාරී ලෙස හැසිරුණු 2,000ක පමණ පිරිසක් ඊයේ (05) දහවල් දිගන නගරයට කඩා වැදී ආගමික ස්ථානයකට, වෙළෙඳසැල් හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබේ.

පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවත්, ඔවුන් පොලිසියටද ගල් ප්‍රහාර එල්ල කරමින් අදාළ කඩකප්පල්කාරී ක්‍රියා අඛණ්ඩව සිදුකරමින් ඉදිරියට පැමිණෙමින් රථවාහනවලට පහර දෙනු දක්නට ලැබිණි.

අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර, දිගන හරහා මහියංගනය මාර්ගයේ වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන් ඇණහිට තිබිණි.

තෙල්දෙණිය, මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊට විරෝධය දක්වා මොරගහමුල හා උඩිස්පත්තුව ප්‍රදේශවල වෙළෙඳසැල් දෙකක්ද පෙරේදා (04) රාත්‍රියේ කිසියම් පිරිසක්  ගිනි තබා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන්  තෙල්දෙනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.  මේ සම්බන්ධයෙන් 24 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

පසුගිය 22 දින තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී අදාළ පුද්ගලයාට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙන අතර, ඔහු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 02 දා මරණයට පත් වී තිබේ.

මළ සිරුර අම්බාලේ ග්‍රාමයට රැගෙන යන අතරතුර 02 දා රාත්‍රියේ ප්‍රදේශවාසීන් උඩිස්පත්තුව ප්‍රදේශයේදී ටයර් පුළුස්සා විරෝධතාවක නිරත වීම නිසා ඒ අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මෙම සිදුවීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු 1,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් මොරගහමුල, උඩිස්පතුව, තෙල්දෙණිය, අඹගහලන්ද ආදී ප්‍රදේශවල විශේෂ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මියගිය එම්.ජී කුමාරසිංහ නමැති හතළිස් එක් හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (05) පස්වරුවේ සිදු කෙරිණි.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද ප්‍රදේශයේ ඇතැම් පිරිස් දැඩි විරෝධය එල්ල කරමින් වාර්තා කිරීම්වලට බාධා කරනු දක්නට ලැබිණි.

මහනුවර පාසල් අද වසයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇති ප්‍රදේශවල පාසල් අද (6) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේ වුවත් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කය තුළ ආරක්ෂාව සහතික කර ඇති නිසා පාසැල් වැසීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න - ජනපති

මහනුවර, දිගන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එමෙන්ම ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද, ජනාධිපතිවරයා පොලිසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි මාධ්‍ය අංශය නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන්ය.

පිටින් ඇවිත් කලබල කළා - කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්

දිගන තත්ත්වය දැන් ආරක්ෂක අංශ මගින් බොහෝ දුරට පාලනය කොට තිබෙනවා. පොලිසිය, යුද හමුදාව එම කාර්යයේ නිරතව සිටිනවා. කොහොමටත් මෙය දිගන ප්‍රදේශවාසින් ඇති කළ තත්ත්වයක් නෙමෙයි. පිට ප්‍රදේශවලින් දිගනට පැමිණි පිරිසක් මේ කෝලාහල ඇති කර තිබුණේ. බලගල්ල ප්‍ර‍දේශය දක්වාම මග දෙපස නිවාස, කඩ සාප්පුවලට හානි කළ තත්ත්වයක් වාර්තා වෙනවා යැයි දිගන ප්‍රදේශය අයිති කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න මහත්මිය පැවසීය.

[අසේල කුරුළුවංශ]  [නුවන් මහේෂ් ජයවික්‍රම] [දිනුක මලින්ද හේරත්] [කරල්ලියැද්දේ නිශ්ශංක]

මාතෘකා