ලක්ෂ 1,290ක් පාඩු කළ සින්තටික් පොතට නීතිය ක්‍රියාත්මක කරන්න

 ඡායාරූපය:

ලක්ෂ 1,290ක් පාඩු කළ සින්තටික් පොතට නීතිය ක්‍රියාත්මක කරන්න

 

 

2017 වසරට අදාළ හත ශේණිය භූගෝල විද්‍යා පෙළ පොත කෘත්‍රිම (සින්තටික්) කඩදාසියේ මුද්‍රණය කරමින් රුපියල් ලක්ෂ 1,290 කට අධික අලාභයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර තිබියදී වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විරෝධය පළ කරයි.  
භූගෝල විද්‍යාව පෙළපොත රුපියල් 25,804,050.00ක මුදලකට සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී, කෘත්‍රිම කඩදාසියේ එය මුද්‍රණය කිරීමට රුපියල් 154,743,750.00ක මුදලක් වැය කර ඇති බව විගණකාධිපති වාර්තාවෙන් හෙළි වන බවද එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.  


මෙම මුදල, කෘත්‍රිම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදු වන අතිරේක පිරිවැයක් හෝ අලාභයක් ලෙස නිරීක්ෂණය වන බව අදාළ වාර්තාවේ සඳහන් වන්නේ යැයිද අවධාරණය කරන ලේකම්වරයා, ටෙන්ඩර් පටිපාටි නොතකා විධිමත් ඇගැයීමකින් තොරව ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද පීඩාකාරී වන ලෙස මෙම පොත මුද්‍රණය කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව පෙන්වා දෙයි.   
විගණකාධිපති වාර්තාවේ මෙමගින් සිදු වන මූල්‍ය අලාභය පැහැදිලිව සඳහන් කර ඇති බවත්, ජනාධිපති විශේෂ විමර්ශන ඒකක වාර්තාවෙන් මෙමගින් සිදු වන සෞඛ්‍ය තර්ජන පිළිබඳව සඳහන් කර ඇති බවත් අවධාරණය කරන ලේකම්වරයා, කඩිනමින් මීට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරුන් සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. මීට පෙර මේ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබුණේ මේ පෙළ පොත වසර හයක් භාවිතා කළ හැකි නිසා මෙමගින් මූල්‍ය පාඩුවක් සිදු නොවන බවයි. එසේම වසර හයකට භූගෝල විද්‍යා විෂ්‍ය නිර්දේශය වෙනස් නොවන බවද එහි සඳහන් කර තිබිණි. අධ්‍යාපන ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අදාළ පිළිතුර විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත යවා ඇති බවයි.

 

මාතෘකා