පළමු වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්!

 ඡායාරූපය:

පළමු වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්!

සංහිඳියාව පිළිබඳව අවධාරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ඉටු කරමින් සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්විණි.
සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයෙන් නිෂ්පාදිත 'තුන්දෙනෙක්' චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාව පෙරේදා (27) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් හා කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එස් ජයසිංහ  මහතා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් බවත් ආධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක් තුළ සංහිඳියාව ඇති කිරීම අභියෝගකාරී වුවද, ඒ සඳහා දායකත්වය ලබාදීම සියලුදෙනාගේම වගකීමක් බවත් සාමය හා සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජය ගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදි.
දශක තුනක් තිස්සේ පැවති අවිගත් ගැටුමද ඇතුළුව දිගු කාලීනව පැවති සමාජ හා දේශපාලන අසහනයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිතවලට, ගරුත්වයට හා ආරක්ෂාවට සිදුවූ පීඩාව, හානිය හා විනාශය සැලකිල්ලට ගනිමින්, රජයේ පූර්ණ උත්සාහයෙන් හා පසුගිය වකවානුවේ සිදු වුණු සිදුවීම් නැවත සිදු නොවන බව තහවුරු කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, භාෂාව හා සංස්කෘතික උරුමයට ඇති අයිතිය ද ඇතුළත්ව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, ජාතික එක්සත් බව හා විවිධත්වය පිළිගන්නා ප්‍රජා සහජීවනය යන කරුණු මත මෙම සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
මෙහිදී අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, හා ප්‍රසන්න විතානගේ යන ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන්  අධ්‍යක්ෂණය කළ 30 වසරක් පැවති ජනවාර්ගික අරගලයෙන් පීඩාවට පත් මනුෂ්‍ය ජීවිතයේ ඛේදවාචකය පිළිබිඹු කරන He, Him and The Other චිත්‍රපටද එළිදැක්විණි.

මාතෘකා