කිරිවෙහෙරේ හිමිට වෙඩි තැබීම: කොන්ත්‍රාත්තුව ලක්ෂ 30යි

 ඡායාරූපය:

කිරිවෙහෙරේ හිමිට වෙඩි තැබීම: කොන්ත්‍රාත්තුව ලක්ෂ 30යි

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි සහ එම විහාරවාසී වීදාගම සෝභිත හිමි වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු ඊයේ (17) පොලිසිය විසින් සෙල්ලකතරගමදී අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් විහාරාධිපති හිමියන්ට වෙඩි තබා ඇත්තේ රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාතුවකට බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඊයේ මේ බව පැවසීය.

ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන් බවට සැක කෙරෙන දෙදෙනා අපරාධයට පෙළඹී ඇත්තේ, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන එම විහාරයේ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අසේල ලක්මාල් බණ්ඩාර (40) ලබා දුන් බව කියන රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ විමර්ශන සඳහා මේ වන විට පොලිස්පතිවරයාගේ නියමය පරිදි පොලිස් කණ්ඩායම් 8ක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කතරගම ගාමිණීපුර පදිංචිකරුවන් වන මාර පතිරණගේ කවිෂ්ක දිල්ශාන් (18) හෙවත් 'කුරුලු' සහ ගල්වල ගමගේ හෂාන් අනුරාධ (18) හෙවත් 'මල්ලී' වශයෙන් හඳුන්වන මෙම සැකකරුවන් දෙදෙනා විමර්ශනවල නිරත පොලිස් කණ්ඩායම් මගින් සෙල්ලකතරගම සහ වල්ලිමාතාගම අවට කැලෑබදව සැඟවී සිටියදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා