තර්ජනයට එරෙහිව තීන්දුව

 ඡායාරූපය:

තර්ජනයට එරෙහිව තීන්දුව

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 යටතේ සාපරාධී අඩන්තේට්ටම් සිදුකිරීම සහ එහි අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම් යන චෝදනා යටතේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු ලෙස ප්‍රකාශ කරන ලද්දේ ඉකුත් මැයි 24 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග විසිනි. එදින තීන්දුව ලබා දුන්නද දඬුවම් නියම කිරීම කල් තැබුණේ ඊයේ (14) දිනයටය. ඒ අනුව දඬුවමද නියම කෙරිණි. මෙම සටහන තැබෙන මොහොත වන විට ගලගොඩඅත්තේ ඥානසාර නමැති හිමිනම වෙනුවට බන්ධනාගාරයේ සිටින්නේ මාස හයක බරපතළ වැඩ සහිතව අධිකරණයෙන් දඬුවම් නියම වූ සිර අංකයක් පමණක් හිමි සුදු ජම්පරය හැඳගත් සිරකරුවෙකි. එහි කිසිදු උත්කර්ෂයක් හෝ සංවේගයක් නැත. එහෙත් නීතිය මෙහෙයවන අධිකරණය ඉදිරියේ සහ නීතියේ පාලනය මත පාලනය වන්නා වූ ශිෂ්ට සමාජයක් තුළ දරන තනතුරු මත නීතියට ඉහළින් කිසිවෙකු නොමැත. චීවරය දරාගත් පමණින් නීතියට ඉහළින් නොසිටිනවා මෙන්ම අප පිළිගත් බෞද්ධ දර්ශනය මත කිසිවෙකුට හෝ සාපරාධී බලහත්කාරය හෝ සාපරාධී බියගැන්වීම කළ නොහැකිය. එසේ කිරීමෙන් පසුව චීවරය මත ඊට අපරාධ මුක්තියද හිමි විය නොහැකිය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන්නේ 2010 වසරේ ජනවාරි 24 වැනිදාය. එම සිදුවීමට මේ වන විට වසර අටකුත් මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ. ඊට අදාළ නඩු විභාගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී තවමත් සෙමෙන් නමුත් එක් දිශාවක් වෙත ගමන් කරමින් තිබේ. එම දුෂ්කර වූ කාල පරාසය තුළ ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ තම ස්වාමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අනවරත අරගලයක නිරත විය. ඒ අතරතුර 2016 ජනවාරි 25 වැනිදා සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිනම විසින් ප්‍රගීත්ගේ නඩු විභාගයක් අතරතුර සන්ධ්‍යා එක්නැලිගොඩට උසාවිය තුළදී උක්ත සාපරාධී අපරාධ සිදු කර තිබිණි. එම වැරදි අධිකරණය ඉදිරියේ ඔප්පු විය. ඊට දඬුවම් ලෙස එක් වරදකට මාස හය බැගින් සිර දඬුවම් හිමි වූ අතර, එය මාස හයකින් ගෙවී යන ලෙස වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පනවනු ලැබිණි. එම එක් වරදකට රුපියල් එක්දහස් පන්සීය බැගින් රුපියල් තුන්දහසක දඩ මුදලක්ද, සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස්දහසක වන්දි මුදලක්ද ගෙවීමට නියම කෙරිණි.

යුක්තිය ඉටුවීම පිළිබඳව අපි සතුටු වෙමු. එහෙත් අප සගයා වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ’වුන්ට දඬුවම් හිමි වන දිනය තෙක් අධිකරණය පිළිබඳවද, සියල්ලට සමාන නීතියේ ආධිපත්‍ය රජකරන දිනය උදවනතුරුද දැල්වූ දෑසින් බලා සිටිමු. ඒ සඳහා පාට-පක්ෂ භේදයකින් තොරව යුක්තිය ඉටුකරවා ගැනීමටත්, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමටත් අරගල කරමු!

මම මෙතැනින් නතර වෙන්නෙ නැහැ

සන්ධ්‍යා එක්නැලිගොඩ

මම දකින්නේ මේ නඩු තීන්දුව මගින් මේ රටේ අනාගතය තීරණය කළා කියලා. මට අනුව මේ තීන්දුවේ බලය තියෙන්නේ අනාගතය වෙනුවෙන්. මේ තීන්දුව ඉදිරි අනාගතය පූර්වාදර්ශයකට ගනීවි. ඒ වගේම මේ තීන්දුව මේ රටේ වින්දිතයන් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක්. නීතිය ඉදිරියේ වින්දිතයන්ට ‍රැකවරණය තිබෙනවා කියන පණිවිඩය මේ තීන්දුවත් සමඟ මහජනතාවට යා යුතුයි. අපරාධකරුවන්ටත් ඒ හා සමානව පණිවිඩය යනවා වින්දිතයන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහිව බලපෑම් කරන්න එපා කියලා. මේ රටේ කිසිවෙකුටත් කිසිම අයිතියක් නැහැ අධිකරණයට සහ රටේ නීතියට ඉහළින් යන්න. ප්‍රගීත්ට යුක්තිය ඉටුවනතුරු මම මේ රටේම මිනිස්සු වෙනුවෙන් අරගල කරනවා. අනාගතයේදී වින්දිතයන් වෙනුවෙන් මහජනතාව පෙළගැසිය යුතුයි.

මම මේ සටන අත්නොහැරියෙ මේක මගේ පෞද්ගලික කාරණයකට වඩා එහා ගිය කාරණයක් නිසා. මම දැක්කේ අද මේ වැරදිකාරයන් වුණු අයගෙන් බොහෝ දෙනෙකුට සිදුවෙච්ච හිරිහැර සහ පීඩාවන්. ඒ අය හැමෝටම සතුටුදායක කාරණයක් වෙන්න ඇති අද අධිකරණය දුන්නු මේ තීන්දුව. ලැබෙන දඬුවම කුමක් වුවත් අධිකරණය සාධාරණය ඉටු කිරීම ගැන යම් සතුටක් තිබෙනවා. මේ අය හිතන් හිටියෙ මේ අයට පහළින් තමයි මේ රටේ අධිකරණය සහ අනෙකුත් හැම ආයතනයක්ම තියෙන්නෙ කියලා. මිනිස්සු මේ අපරාධවලට බයෙන් ඉන්න ඕන කියලා හිතාගෙන හිටියා. මම මගේ කාර්යය කළා. ඒත් මෙතනින් නතර වෙලා බැහැ. නීතියේ ආධිපත්‍ය ඇති කර ගැනීමට නම් මහජනතාව මේ සටන අත්නොහැර ඉදිරියටම කරගෙන යා යුතුයි. මම මේ සටන වෙනුවෙන් තවදුරටත් පෙනී ඉන්නවා.


මේ තීන්දුවෙන් අධිකරණයේ ගෞරවය තහවුරු වුණා

චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක

උසාවියක් තුළදි හිමිනම විසින් කාන්තාවක්ට තර්ජනය කිරීම නිසා අධිකරණයෙ ගෞරවය කෙලෙසිලා තිබුණා. මෙතනදි භික්ෂුවක් නෙවෙයි වෙන කවුරු හරි කෙනෙක් වුණත් තර්ජනය කළා නම් ඒක වැරදියි. මේ තීන්දුවෙන් අධිකරණයේ ගෞරවය තහවුරු වුණා. මේ නඩුවෙදි ජනතාව ඒක බලාපොරොත්තු වුණා. වරදක් කළා නම් භික්ෂුවක වුවත් සමාව දිය නොහැකියි. පනස්නවයෙදි බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියල මරල දැම්මෙත් හාමුදුරුනමක්. ජනතාවට ඒ අතීතය අමතක වෙලා.

ඥාණසාර හිමිනමගෙ සිදුවීම හරහා නැවත අතීතය මතක් වෙනවා. භික්ෂුවක් වුණාම ගිහියෙකුට වඩා හොදින් හැසිරිය යුතුයි. චීවරයක් දරාගත්ත පමණින් නීතිය අතට ගෙන හැසිරෙන්න බැහැ. එහෙම හැසිරෙනවා නම්, ඒකෙන් පෙනෙන්නේ සමාජය ජරාජීර්ණ වෙලා කියලයි.


නීතිය හැමෝටම එක සමාන බව ඔප්පු වුණා

සමාජ විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ

අපි හැමෝම දන්නවා ඥානසාර හිමි කියන්නේ චීවරයක් දරාගත්ත භික්ෂුවක් බව. ගිහියකුට වඩා භික්ෂුවකට කොයිතරම් විනය වැදගත්ද කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගිහියකුට වඩා භික්ෂුවකට විනය කොයිතරම් වැදගත්ද කියලා ඥානසාර හිමි හරහා සමාජයට අද දැනිලා තිබෙනවා.

මා පුද්ගලිකව විශ්වාස කරනවා ඥානසාර හිමිනමට මීට වඩා දඬුවමක් හිමිවිය යුතුයි කියලා. අනිත් සියලු දෙනාටම ආදර්ශමත් විදිහට හිමිනමක් හැසිරිය යුතුයි. මේ නඩු තීන්දුව හරහා කෙසේ හෝ නීතිය හැමෝටම එක සමාන බව ඔප්පු වුණා. එතනදි හාමුදුරුකෙනෙක් කියල කිසිදු විශේෂත්වයක් නැහැ.


නීතිය මේ විධියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක කාන්තාවන්ට ලොකු ශක්තියක්

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හරිනි අමරසූරිය

මේ නඩු තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. වැරැද්දට අදාළව දඩුවම් හිමිවෙලා තිබෙනවා. මේ නඩු තීන්දුව ලබා දෙද්දි අධිකරණය ස්වාධීන වෙලා තිබෙන බව පෙනෙනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. සන්ධ්‍යා එක්නැලිගොඩට මේ සිදුවීමෙදි ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව ලැබුණා. උසාවිය තුළ නීතිය මේ විධියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක කාන්තාවන්ට ලොකු ශක්තියක්.

සමාන්‍යයෙන් මේ වගේ නඩු තීන්දු ප්‍රකාශ වීම විරලයි. මේක හොඳ ප්‍රවණතාවක්.


සන්ධ්‍යා වෙනුවෙන් ලැබුණ නඩු තීන්දුව සාධනීය බව පෙනෙනවා

රාවය ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න

මෙම සිදුවීම වුණේ 2016 වසරෙදි. වසර දෙකකට වැඩි කාලයක් මෙම නඩුව විභාග කෙරුණා. ජනතාව බලාපොරොත්තු වුණ තරමට යහපාලන ආණ්ඩුව මගින් වැරදිකරුවන්ට දඩුවම් හිමි වුණේ නැහැ. එහෙත් වඩ වඩා නරක තත්ත්වයට පත්වෙමින් තිබුණ ජාතිවාදය සහ ආගම්වාදය පාලනය කරන්න මේ ආණ්ඩුවට හැකිවුණා.


ජාත්‍යන්තරය තුළ තිබුණ අප්‍රසාදය පහව ගියා

නීතිඥ උපුල් කුමරප්පෙරුම

චෝදනා දෙකක් යටතේ ඥානසාර හිමිනමට විරුද්ධව දඩුවම් ලබාදී තිබෙනවා. එකක් තමයි සාපරාධී බලහත්කාරය. අනෙක සාපරාධී බියගැන්වීම. සාමාන්‍යයෙන් මෙවැනි චෝදනාවන්ට ලක්වන පුද්ගලයකුට වසර දෙකක් දක්වා සිරදඩුවම් හෝ යම් දඩයකට යටත් කිරීමේ හැකියාව තිබෙනවා.

මේ නඩු තීන්දුව ලබා ගන්න සන්ධ්‍යා එක්නෑළිගොඩ මහත්මිය සෑහෙන කැපකිරීම් කන්දරාවක් කළා. ඒ වගේම ඇය බොහොම දුක් කන්දරාවක් වින්දා. ප්‍රගීත් එක්නෑළිගොඩ අතුරුදන්වීමත් සන්ධ්‍යාට මරණ තර්ජන එල්ල වීමත් යන සියලු සිදුවීම් වුණේ පසුගිය රාජ්‍ය පාලන සමය තුළයි. ඒ වකවානුවෙදි රජය, පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව මේ කිසිවකට මැදිහත් වුණේ නැහැ.

සන්ධ්‍යාට තමන්ගෙ සැමියා නැති වුණා පමණක් නෙවෙයි තමන්ගෙ දරුවගෙ මානසික තත්ත්වයත් නරක තත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ගියා. ඒ තුළින් ලංකාවෙ කීර්ති නාමයට හානියක් සිදු වුණා. මේ නඩු තීන්දුව නිසා ලංකාවෙ නීතිය ගැන ජාත්‍යන්තරය තුළ තිබුණ අප්‍රසාදය පහව ගියා කියා මා විශ්වාස කරනවා.

[දසුන් රාජපක්ෂ] [කසුන් පුස්සෙවෙල]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?