පරිත්‍යාගශීලීත්වය රාමසාන් උත්සවයේ වැදගත්කමයි

 ඡායාරූපය:

පරිත්‍යාගශීලීත්වය රාමසාන් උත්සවයේ වැදගත්කමයි

අගමැති රාමසාන් පණිවුඩයෙන් කියයි

තමන් තුළ බලපවත්නා තණ්හාව, ආශාව යන දුස්සිත් දමනය කරමින් මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය ගොඩනැංවීම රාමසාන් උපවාසය තුළින් ගම්‍යමාන වන අතර, එය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාට අලුත් ජීවන දැක්මක් ලබා දෙන වටිනා ආගමික පිළිවෙතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් උත්සවය සමරන මුස්ලිම් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි:

"මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය සමානාත්මතාවයේ මාහැඟි පණිවුඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි. අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුලුනුු පහෙන් එක් කුළුණකි. පාරිශුද්ධ වූ අල්කුරානය ලොවට පහළ වීම සමරනු ලබන්නේද මේ මාසයේදීය.

උපවාස ශීලය රැකීම පිළිබඳව අල්කුර්ආනයේ සඳහන මෙලෙසිනි. “ඔබට පෙර සිටි අය කෙරෙහි නියම කර තිබූ ප්‍රකාරව ඔබ කෙරෙහි ද උපවාසය නියම කර ඇත. එබැවින් ඔබ පාරිශුද්ධ විය හැකිය.” මේ අනුව උපවාසයේ ප්‍රධානතම අරමුණ ශාරීරික, මානසික, අධ්‍යාත්මික පාරිශුද්ධභාවයයි.

මෙම කාලය තුළ උස් පහත් භේදයකින් තොරව මහත් කැපවීමෙන් උපවාස පිළිවෙත ඉටු කරන සහෝදර මුස්ලිම් ජනතාව නිරාහාරව සිටීමෙන් නොනැවතී අනෙකාගේ අවශ්‍යතාවන්ට සංවේදීවෙමින්, නැති බැරි අය සමඟ බෙදා හදා ගනිමින් සහජීවනයෙන් දිවි ගෙවීමට මූලික අවධානය යොමු කරති.

එම අධ්‍යාත්මික, සමාජයීය වටිනාකම් පද්ධතිය ලෝකයට ආලෝකයක් වේවා යන අපේක්ෂාව පෙරදැරිව, සහෝදර මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයකට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි."

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?