කිරිවෙහෙරේ සෙලවුණු ලේ | ඇස පාදන රැස


කිරිවෙහෙරේ සෙලවුණු ලේ

 ඡායාරූපය:

කිරිවෙහෙරේ සෙලවුණු ලේ

වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලත් කතරගම, කිරි වෙහෙරේ කොඹවක ධම්මින්ද හිමියන් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ඒමට සූදානමින්.

ඡායා [නුවන් ජයසේකර]


කිරි වෙහෙරේ හිමියන්ට වෙඩි තැබීම:

‘නිලමේ’ ගැන සැකයක්!

කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රකට දේවාලයකින් ඉවත් කළ ප්‍රධාන කපුමහතකුගේ පුත්‍රයකු වන නිලමේ නමැත්තා සෘජුව සම්බන්ධ වී ඇතැයි සැක මතුවී තිබෙන බවත්, එම තැනැත්තා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අනාවරණය වේ.

මේ නිලමේ නමැත්තාට හිමි ජීප් රථයකින් සැකකරුවන් වෙඩි තැබීමට පැමිණ ඇති අතර, UP CAG 8531 දරන හොන්ඩා වෙසල් වර්ගයේ මේ වාහනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ තැනැත්තා විහාරාධිපති හිමියන්ට මීට පෙරද අවස්ථා කිහිපයකදී තර්ජනය කර ඇති බවයි. අනවසර ඉදිකිරීම් කිහිපයක් සහ විහාර සහ දේවාලගම් පනත යටතේ පැවරී ඇති ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මත ගැටුමක් හටගෙන ඇත.

අදාළ දේවාලයට ප්‍රභූ පිරිස් නිතර යන - එන බවත්, සැකකටයුතු පුද්ගලයා ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් අත්තනෝමතික කටයුතු රැසක් සිදු කර ඇති බවත් කතරගම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මැණික් ගඟේ ඉවුරු ආශ්‍රිතව සිදු කර ඇති ඉදිකිරීම් කිහිපයකටද මේ නිලමේ නමැත්තා සම්බන්ධ වී ඇති බවත්, වෙඩි තැබීමට පැමිණි එක් සැකකරුවකු පොලිසියට හඳුනාගැනීමට හැකි වී තිබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මේ සිද්ධියේ සැකකරුවන් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් පසු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විහාරාධිපති හිමියන් ඊයේ (13) පස්වරුවේ කොළඹට ගුවන් මගින් රැගෙන යෑම සිදු වූයේ රෝහලේ වෛද්‍ය පහසුකම්වල අඩුවක් හෝ වෙනත් ගැටලුවක් නිසා නොව එම හිමියන්ගේ භාරකාරත්වය දැරූ පිරිසගේ කැමැත්ත මත බව ඊයේ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ධනුෂ්ක පෙරේරා පැවසීය.

[කාශ්‍යප දිසානායක]

මාතෘකා