දකුණේ උණ රෝගය පාලනය කර අවසන්

 ඡායාරූපය:

දකුණේ උණ රෝගය පාලනය කර අවසන්

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දකුණු පළාත තුළ පැතිරී ගිය වෛරස් උණ තත්ත්වය සියයට 75 කින් පමණ පාලනය කොට ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසයි.

රජයේ සෞඛ්‍ය අංශ ගනු ලැබූ පියවර නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වෙමින් තිබූ වෛරස් උණ රෝගී තත්ත්වය මුළුමනින්ම පාලනය කොට ඇති බවත්, තංගල්ල මූලික රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් තව දින කිහිපයකදී තංගල්ල මූලික රෝහලද යථා තත්ත්වයට පත් වනු ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

රෝගය පාලනය කොට තිබියදීද ඇතැම් මව්පියන් දරුවන් පාසල් එවීමට අකමැති වීම අවාසනාවන්ත තත්ත්වයක් බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ‘රැස‘ කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසුවේ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් පවතින තත්ත්වය පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව ඊයේ (11) දිනය තුළදී තංගල්ල හා වලස්මුල්ල කලාපවල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ බවයි. විදුහල්පතිවරුන් මාර්ගයෙන් මව්පියන් දැනුවත් කොට පාසැල් යථා තත්ත්වයට පත් කිරීමට තමන් කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

[චන්ද්‍රසේන ගමගේ]

මාතෘකා