ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් ප්‍රාථමික ශ්‍රේණිවලට සිසුන් අරන්

 ඡායාරූපය:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් ප්‍රාථමික ශ්‍රේණිවලට සිසුන් අරන්

‘රැස’ අනාවරණය අධ්‍යාපන ඇමති තහවුරු කරයි

පාසැලක ප්‍රාථමික ශ්‍රේණියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට පිටුපා යමින්, පළාත් සභා කිහිපයක ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කර ඇති බව ඊයේ (10) ‘රැස’ පුවත්පතට අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පාසැලක පළමු ශ්‍රේණියේ සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත්, එම නියෝගයට පිටින් යමින් වයඹ, බස්නාහිර සහ ඌව පළාත් සභාවල දේශපාලනඥයන් සහ අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි රාශියක් ලැබී ඇති බවද ඇමැතිවරයා පැවසීය.

ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට එරෙහිව යමින් පළාත් දේශපාලනඥයන් නිකුත් කර ඇති ලිපි සම්බන්ධයෙන් හෙළිදරව්වක් ‘අධිකරණය මායිම් නොකරන අධ්‍යාපන ඒජන්තලා’ යන ශීර්ෂපාඨය යටතේ පසුගිය ජනවාරි 29 වැනිදා ‘රැස’ පුවත්පතෙහි පළ කෙරිණි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සම්බන්ධයෙන් 289/2007, 235/2011, 232/2011 අංක දරන තීන්දුවල සඳහන් වේ. එසේම අංක 14/1745/580/060 දරන කැබිනට් පත්‍රිකාවෙන්ද අදාළ නඩු තීන්දුව පිළිගෙන තිබේ. ඉන්පසු අංක 23/2013/02 දරන චක්‍රලේඛයද මීට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත.

මේ චක්‍රලේඛයට පිටින් ගොස් වයඹ පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාද සිසුන් ඇතුළත් කරගන්නා ලෙස ලිපි නිකුත් කර තිබේ. එසේම මධ්‍යම පළාත් සභාවේ පළාත් ඇමැති මණ්ඩල සංදේශ අංක සීපීසී/සීඑම්/සී/බී/2017/44 දරන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේද මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටිනි. ඊට අත්සන් කර ඇත්තේ මධ්‍යම පළාත් සභා ඇමැති මණ්ඩල ලේකම්වරයාය. මීට අමතරව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැතිවරයා විසින්ද මේ නියෝගය උල්ලංඝනය කරමින් ලිපි නිකුත් කර තිබේ. මේ කරුණු සහ ඊට අදාළ සාධකද ‘රැස’ පුවත්පත මගින් අනාවරණය කෙරුණද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන් මැදිහත්වීමක් කර නොතිබිණි.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා