ටෙලිනාට්‍ය බද්ද අය කරන්න එපා ජනපතිගෙන් මුදල් ඇමැතිට උපදෙස්

 ඡායාරූපය:

ටෙලිනාට්‍ය බද්ද අය කරන්න එපා ජනපතිගෙන් මුදල් ඇමැතිට උපදෙස්

නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී සියයට 14ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, එම රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දී තිබේ.

මේ අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ල වී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද කලා සංගම්වල නියෝජිතයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසීය.

දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම රජයේ පිළිවෙත බවද ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය පසුබෑමකින් තොරව කටයුතු කරන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලිනාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට එම ක්ෂේත්‍රවල සියලු අංශ නියෝජනය වන පරිදි කමිටු පත්කිරීමටද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

[අසේල ලියනගේ]

මාතෘකා