ශ්‍රී ල නි ප යේ  තාවකාලික වෙනසක්

 ඡායාරූපය:

ශ්‍රී ල නි ප යේ  තාවකාලික වෙනසක්

මහ ලේකම් ධුරය දුමින්දගෙන් රෝහණ ලක්ෂ්මන්ට

භාණ්ඩාගාරික  එස්.බී. දිසානායක

උපදේශක ධුරවලට මහින්ද - චන්ද්‍රිකා - දිමු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු තාවකාලිකව වෙනස් කළ එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරිණි. ඒ අනුව එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක ඇමැතිවරයාට පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හිමි වූ අතර, නව මහ ලේකම් ධුරයට ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කෙරිණි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී

එස්.බී. දිසානායක මහතා පත්කෙරිණි. හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන මහත්ම-මහත්මීන් පක්ෂ උපදේශක මණ්ඩලය සඳහා තෝරාගන්නා ලදි. එමෙන්ම පක්ෂයේ තාවකාලික ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් පත් කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස ඒ.එච්.එම්. ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ශාන් විජේලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත්කෙරුණු අතර, උපලේකම්වරුන් ලෙස රංජිත් සියඹලාපිටිය, සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සුමේධා ජී. ජයසේන යන මහත්ම-මහත්මීන් පත් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මධ්‍යම කාරක සභාවට තෝරාපත් කර ගැනිණි. ඊට අමතරව පක්ෂයේ සභාපති ලෙස ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් අය ඉදිරියේදී නම් කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා