සත පහක්වත් එපා, රටට වැඩක් කරන්න ඉඩ දෙන්න

 ඡායාරූපය:

 සත පහක්වත් එපා, රටට වැඩක් කරන්න ඉඩ දෙන්න

ඉන්ෆ්ලුවන්සාව සුව කරන බල්බයක් සොයාගත් බලධාරීන්ට වැඩක් නැති අපේ මිනිසා

ඉන්ෆ්ලුවන්සා රෝගයට ප්‍රතිකාරය සොයාගත් විද්‍යාඥයා

මංජු ගුණවර්ධන

අරාජික ලෝකය, ඉන් මිදී අපූරු ලෝකයක් කළේ 'අලුත් විදිහට' හිතන මිනිස්සුය. ඔවුන්ගේ අලුත් අදහස් සහ සංකල්ප ලෝකය නවමු මාවතකට ගෙන යන්නට සමත් විය. ඉපදෙන මියෙන කෝටි ප්‍රකෝටි මිනිසුන් අතර නමක් තබා ගත හැක්කේ අලුතින් හිතන මිනිසුන්ටය. අලුතින් හිතා නවමු සොයාගැනීම් කරා යොමු වූ අපූරු තරුණයෙක් අපට හමු විය. අපි මේ කියන්නේ නැනෝ තාක්ෂණය පිළිබඳ විද්‍යාඥවරයෙක් වූ මංජු ගුණවර්ධන ගැනය. රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වූ ඔහු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනනයේ නැනෝ තාක්ෂණ පිළිබඳ උපදේශකවරයකු ලෙස මේ වන විට කටයුතු කරයි. ඔහු සොයාගත් දෑ බොහෝය. ඒ සියල්ල, ලෝකය ඉමහත් සාදරයෙන් භාරගත් ඒවාය. ඔහුගේ නවතම සොයාගැනීම ඉන්ෆ්ලුවෙන්සා සඳහා ප්‍රතිකර්මයකි.

ලංකාවෙහි ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මියගිය දරුවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රට පුරා කතිකාවතක් නිර්මාණය වූයේ මෙයට කළ යුතු දේ පිළිබඳවය. ලෝකය පුරා එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර සොයා යද්දී ලංකාවට අමතක වූ දෙයක් තිබුණි. ඒ මෙම රෝගයට විසඳුම ලංකාව තුළම ඇති බවයි. ලංකාවේ විද්‍යාඥයෙක් ඊට විසඳුම සොයා ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැත. දන්නා අය ඉන්නේ ද නොදන්නා ගානටය.

ඔබේ සොයාගැනීම කොහොමද හඳුන්වා දෙන්නේ?

ලෝකයේ තියෙන සෞඛ්‍ය ගැටලුවලින් විශාලතම ගැටලුව වෙන්නේ වසංගත රෝග පැතිරීම. ඒක ලංකාවට පමණක් සුවිශේෂී වුණු කාරණාවක් නෙවෙයි. වසංගත රෝගී තත්ත්වයන් විවිධ ආකාරවලට අපි වෙත එන්න පුළුවන්. බොහෝ වසංගත රෝග වැලඳෙන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. රෝහල්වලින්, වසංගත රෝගයන්ට ගොදුරු වූ රෝගීන්ගෙන් සහ දීර්ඝ කාලීනව වාතයේ ඇති විෂ වායුවලට නිරාවරණය වීමෙන්. ඒ ප්‍රධාන ක්‍රම තුනට විසඳුම් විදියට තමයි මේ බල්බ් එක හැදෙන්නේ.

තවත් පැහැදිලිකිරීමක් කළොත්?

රෝහල් ඇතුළේ මියයන බොහොමයක් දෙනාගෙන් වැඩි ප්‍රතිශතයක්, සියයට විස්සක් (20%) වැනි ප්‍රතිශතයක් මියයෑම සිදුවන්නේ රෝහල් ඇතුළේ ඉන්න රෝගීන්ට වැලඳී ඇති වසංගත බෝවීම හේතුවෙන්. මේ තත්ත්ව හොස්පිටල් ඇක්වයර්ඩ් ඉන්ෆෙක්ෂන් (Hospitl acquired infections) හෝ නෝසොකොමිනල් (Nosocominal) ලෙස හඳුන්වනවා. මේ බල්බය මගින් රෝහල් ඇතුළේ ඇති වසංගත රෝගී පරිසරය සම්පූර්ණයෙන්ම නැති කරන්න හැකියාව තියෙනවා.

මීට අමතරව සමාජයේ ජීවත්වෙද්දි H1N1, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග, කුරුලු උණ වැනි රෝග මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. චිත්‍රපට ශාලාවල, බස්රථ, පංති කාමර හෝ සංවෘත කාමරවල ඉඳිද්දි මේ රෝගී තත්ත්වයන් බෝ වෙන්න පුළුවන්. ඒ සංවෘත ස්ථානවලත් මෙම බල්බය දැල්වීමෙන් එම රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.

අනෙත් විදිය තමයි අපි හුස්මගන්න සාමාන්‍ය වාතයේ විෂවායු තියෙන්න පුළුවන්. ඒවට දීර්ඝ කාලීනව නිරාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මේවා වාතයේ අපිරිසිදුතාවය නිසා ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්.

බල්බ් එකක්ම හදන්න හේතුව කුමක්ද?

මම මුලින් කියපු ගැටලුවලට විසඳුමක් විදියට අපි එක්තරා නැනෝ අංශුවක් හොයාගත්තා. මේ නැනෝ ද්‍රව්‍යයට පුළුවන් ඉර එළිය, බල්බය වගේ ඕනෑම ආලෝක ප්‍රභවයක් එකතු වුණාම වාතයේ තියෙන විස අපද්‍රව්‍ය, බැක්ටීරියා හෝ වෛරස් යන ඕනෑම අපද්‍රව්‍යයක් ඉවත් කරන්න. ඉතින් මිනිසුන්ට පහසුම බල්බය නිසා තමයි අපි මේ නැනෝ අංශු බල්බයට එකතු කළේ. නැනෝ අංශු බල්බයේ පිටත ආලේප කිරීමක් පමණයි කරන්නේ.

මෙහි විශේෂත්වය පැහැදිලි කලොත්?

අපි යම්කිසි ආසාදනයකට ප්‍රතිජීවකයක් ලබා ගත්තොත් කාලයක් යද්දි අපි ඒකට අනුගත වෙනවා. ඒ නිසා පහුවෙද්දි අපි මාත්‍රාව වැඩි කරගන්නවා, එහෙමත් නැත්නම් වෙනත් බෙහෙතකට යොමුවෙනවා. ඒත් මේකෙදි විශේෂ වූ ශක්තියක් මගින් වසංගත හෝ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය විනාශකරන නිසා මේකට ප්‍රතිවිරෝධතාවයක් නිෂ්පාදනය කරන්න බැහැ. ඒ නිසා බැක්ටීරියා හෝ වෛරස් තත්ත්වයන්ට ප්‍රතිරෝධ නිපැදවීමේ කිසිඳු හැකියාවක් නැහැ.

මොනතරම් කාලයක් මේ සඳහා වැයවුණාද?

මේක නිෂ්පාදනය කරන්න කලින් අවුරුදු හතක් තිස්සේ පරික්ෂණ කළා. ඒ වගේම ඉතාම සාර්ථක නව නිපැයුමක් ලෙස මෙය එළියට දාන්න හැකියාව ලැබුණා. 2012 වර්ෂයේදී ජිනීවාහි ලෝක නව නිර්මාණ කොංග්‍රසයේ රන් පදක්කමක් පවා මේ බල්බය සොයා ගැනීම වෙනුවෙන් ලැබුණා.

මේ නිර්මාණයට පේටන්ට් බලපත්‍රය ලැබුණද?

ඔව්. මේ වෙද්දි බල්බයේ තනි පේටන්ට් අයිතිය තියෙන්නේ මට. ඒ වගේම ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරලා බෙදා හැරීමක් කරනවා.

ඇයි ලංකාවට නොදී ඉන්දියාවට නිෂ්පාදන අයිතිය දුන්නේ?

ලංකාවේ කවදද මෙහෙම දේකට අතහිත දුන්නේ. මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා ගාල්ල, මාතර දරුවන් මියයනවා. අපිම කතාකරලා ඇහුවා මේ බල්බය ඉන්දියාවෙන් ගෙන්නවලා දෙන්න. ඒත් මෙහේ කාටවත් ඒකට උනන්දුවක් නැහැ.

ඔබ මේ ගැන කතා කළේ කවුරුන් සමඟද?

අදාළ අමාත්‍යංශයේ මේ සම්බන්ධව වගකිව යුතු ඉහළම නිලධාරියාට මේ ගැන මම පුද්ගලිකවම කතාකළා. ඒත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ අයට මේකත් කමිටු තියලා, පර්යේෂණ කරලා, ඔප්පු කරලා ගන්න අවශ්‍ය ඇති. ඒත් ඒකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු බේරගන්න තියෙන එකම අවස්ථාවත් නැතිවෙන එක.

ලංකාවේ කිසිම තැනකින් පිළිගැනීමක් ලැබුණේ නැද්ද?

එහෙම කියන්න බැහැ. 2012 දි සම්මානය ගත්තම විශාල පිළිගැනීමක් ලැබුණා. අපේ රටේ වරද තමයි ඉන්පස්සේ ඒ ගැන කිසිම කතිකාවතක් හැදෙන්නේ නැති එක. ඒත් මම අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය සහ ජාතික විද්‍යා පදනමෙන් ලැබුණු පිළිගැනීම බොහොම ඉහළයි. ඒ වගේම ඒ අය දෙන සහයෝගයත් අතිවිශාලයි. මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙනුත් ලැබුණු සහය අතිවිශාලයි. මෙතන ගැටලුව තියෙන්නේ මේ ප්‍රතිකාරය අවශ්‍ය අමාත්‍යංශය මේකෙන් නිසි ප්‍රයෝජන නොගැනීම. අපි මේ කිසිම දෙයක් මුදල් බලාගෙන කරන ඒවා නෙවෙයි.

මොනතරම් කාලයක් මේ බල්බය භාවිතා කරන්න පුළුවන්ද?

බල්බය භාවිතා කරන්න පුළුවන් ජීවිත කාලයක් කියලා දෙයක් නැහැ. CFL බල්බයක ආයු කාලය තුළ භාවිතා කරන්න පුළුවන්. මේ නැනෝ අංශු CFL බල්බයේ පිටත ආලේප කරලා තියෙන්නේ.

මේ බල්බය මිනිසුන්ගේ ශරීරයට හානියක් නොවෙන බවට සහතිකයක් තියෙනවද?

ලෝකයේ සෑම තැනකින්ම මෙය තහවුරු කරලා තියෙනවා. ඉන්දියාව සහ එංගලන්තයේ බොහෝ විද්‍යාඥයන් මම හදපු මෙම බල්බය දැල්වීමෙන් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය මුළුමනින්ම සුවකරගන්න පුළුවන් බව තහවුරුකරගෙන තියෙනවා. ඉන්දියාවේ ඇමසන් වැනි ආයතන පවා ඉදිරියේදී මෙම බල්බය බෙදාහැරීමට නියමිතයි. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ බොහෝ වෛද්‍යවරු තමන්ගේ රෝගීන්ගේ බෙහෙත් තුණ්ඩුවට බල්බයත් ඇතුළත් කරනවා. දීර්ඝ කාලයක් රෝහල්වල ප්‍රතිකාර ගෙන සුව වුණු රෝගීන්ට නිවසේ මෙම බල්බය දැල්වීමට නියම කරනවා. හිටපු ජනාධිපති අබ්දුල් කලාම්ගේ පුද්ගලික වෛද්‍යවරයා පවා මෙම මෙම බල්බය අනුමත කරනු ලැබුවා.

වෙනත් රටවලින් ලැබෙන ප්‍රතිචාර මොනවද බල්බය ගැන?

ජපානය, එංගලන්තය වැනි රටවල ඉන්ෆ්ලුවෙන්සාවට එරෙහිව මෙම බල්බය භාවිතය අනුමත කරලා තියෙනවා. ඉන්දියාවේ වෙනම කර්මාන්තශාලාවක් පවා හැදිලා තියෙනවා.

මොනවගේ පිරිසකටද මේ බල්බය ප්‍රයෝජනවත් වෙන්නේ?

අසනීප අයට කොහොමත් ප්‍රයෝජනවත්නේ. ඒ වගේම ඕනෙම නිවෙසක වැසිකිළිය, නානකාමරය වැනි ස්ථානවල විෂබීජ සියයට සියයක්ම විනාශ කිරීමේ හැකියාව මේ බල්බයට තියෙනවා. කුස්සිය වගේ විෂබීජ අවම විය යුතු තැන්වල මෙම බල්බය දැල්වීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන්දියාවෙ නම් බොහෝ සැත්කම්වලට ලක්වුණු අය මේ බල්බය භාවිතා කරනවා.

විශේෂයෙන්ම කුමන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිසට මෙය සෘජුවම භාවිතා කරන්න පුලුවන්ද?

පාචනය, තද උණ, අසාත්මිකතා, මුත්‍රා ආසාධන, අක්ෂි රෝග ඇතුළු සියලුම වෛරස්, බැක්ටීරියා වැනි වසංගත රෝගී තත්ත්වයන් වැළඳුණු රෝගීන්ට මෙම බල්බය දල්වා තැබීමෙන් නිපදවෙන ශක්තියෙන් නැතිකරන්න පුළුවන්.

ඔබ මේ නව නිපැයුම් කරන්න ගන්නේ මොන කාලෙද?

මම අවුරුදු විසි අටක ඉඳන් මේක තමයි කරන්නේ. දැන් මේක මගේ රැකියාව. අලුත් දේවල් හොයාගන්න එක.

මේ වෙද්දි කරලා තියෙන නව නිපැයුම් ගැන කතා කළොත්?

මේ වෙද්දි මම කරපු නව නිපැයුම් හැත්තෑ පහක් අසූවක් පමණ වෙළෙඳපොගෙළ් තියෙනවා. ඒ වගේම ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම්කරුවනගේ කොංග්‍රසයෙන් රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ජූරියේ විශේෂ රන් පදක්කමක් ලැබුණා. ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ කොංග්‍රසයේ අවුරුදු 43ක් ඇතුළත වැඩිපුරම පදක්කම් ලාභි තනි පුද්ගලයා වෙන්නෙත් මම.

ඒ පදක්කම් ලැබුණේ මොනවගේ නව නිර්මාණයන්ටද?

රෝග කලින් හඳුනා ගැනීමේ නැනෝ තාක්ෂණය වෙනුවෙන් හා නැනෝ තාක්ෂණය භාවිතා කරමින් රෝග සුවකිරීමේ ඖෂධ සොයාගැනීම වෙනුවෙන්.

ඔබ ඉදිරියේදිත් මේ වගේ නව නිපැයුම් කරන්න අදහසක් තියෙනවද?

මැරෙනකම් මම මේක තමයි කරන්නේ. මිනිස්සුන්ට ජීවත්වෙද්දි ඇතිවෙන ගැටලුවලට විසඳුම් හොයා ගන්න එක.

[නදී මාණික්කගේ]

තොරතුරු සම්බන්ධීකරණය COSTI ආයතනයෙනි.

මාතෘකා